'ත්‍රිකුණාමලය වෙරළ තීරයේ විහාරයක අනවසර ඉදිකිරීම්': බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

බලංගොඩ කස්සප හිමි

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Balangoda Kassapa Thero

    • Author, බීබීසී සිංහල

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ අනවසර බෞද්ධ ආගමික ඉදිකිරීම් සිදු කිරීම සහ නව බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු ලබන 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව් දෙනෙකු සහ තවත් පුද්ගලයින් හය දෙනෙකි.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ වෙරළ සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද මෙම නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් හමුවේ අද (පෙබරවාරි 2 වැනිදා) වැනිදා යළි කැඳ වූ අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ විත්තිකරුවන් පෙබරවාරි 9 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ය.

විත්තිකරුවන්ට එල්ල වන චෝදනාව කුමක් ද?

වෙරළ ආරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් 2025 වසරේ නොවැම්බර් මාසයේදී වෙරළ තීරයේ ව්‍යුහයක් ඉදිකර පිළිමයක් තැබීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

සැකකරුවන් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම හා රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට ගොනු කර ඇති පෙත්සම ඉවත් කර ගන්නා ලෙස අද දින අධිකරණය හමුවේදී පොලිසිය යෝජනා කළ බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බැල්ලන්තුඩාව සඳහන් කළේය.

විත්තිකරුවන් කවුද?

ත්‍රිකුණාමලය කොටුව විහාරයේ විහාරාධිපති පූජ්‍ය බලංගොඩ කස්සප හිමි, සම්බුද්ධ ජයන්ති විහා­රා­ධි­පති මිහි­ඳු­පුරේ කල්‍යා­ණ­වංශ තිස්ස හිමි, පූජ්‍ය සුකිත්ත වංශ හිමි, සිරිමාපුර විහාරයේ පූජ්‍ය නන්ද හිමි මෙන් ම කොටුව විහාරයේ විධායක කමිටු සාමාජිකයින් වන දීපානි ලියනගේ, විදුරංග ලොකු ගලප්පත්ති, එල්.ටී. පෙරේරා, පියලාල් ප්‍රේමසිරි සහ තේකුම් දුලාර යන පිරිස විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

ඊට අමතරව, සුතිප්ප ලියනගේ සහ සුගත් ප්‍රසන්න යන අය ද විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

'ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැහැ'

ඉකුත් 14 වන දා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයෙක් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නීතිඥවරයෙක් අධිකරණයේ පෙනී සිටියහ.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඔවුන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිය ද මහේස්ත්‍රාත්වරයා එදින දැනුම් දුන්නේ, වෙරළාරක්ෂක ආඥා පනත යටතේ ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති අතර ඇප ලබා දීමට බලය ඇත්තේ මහාධිකරණයට පමණක් බව ය.