LPL: ක්‍රිකට් තරග පාවා දීම සම්බන්ධයෙන් 'දඹුල්ල තන්ඩර්ස්' කණ්ඩායමේ හිමිකරුට මිලියන 24ක දඩයක්

ඡායාරූප මූලාශ්‍රය, Dambulla Thunders Facebook
- Author, බීබීසී සිංහල
2024 වසරේ පැවැති එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේදී තරග පාවා දීමේ චෝදනාවට වරද පිළිගත් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වූ තමීම් රහ්මාන් නමැත්තාට කොළඹ මහාධිකරණය අද (ජනවාරි 28) අත්හිටවූ සිර දඬුවම් සහ දඩ නියම කළේ ය.
ඒ අනුව, විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර පහකට අත්හිටුවීමට නියෝග කළේ ය.
ඊට අමතරව විත්තිකරුට රුපියල් මිලියන 24ක දඩයක් ද අධිකරණය විසින් නියම කරනු ලැබීය.
නීතිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කරයි
මෙම නඩුව ඉකුත් දා කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී සිය සේවා දායකයා නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට සූදානම් බවත් ඒ පිළිබඳ නීතිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර ඇති බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස විසින් අධිකරණයට දැනුම් දුන්නේ ය.
ඒ අනුව මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී තමන් අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරු අධිකරණයට පැවසුවේ ය.
පසුව විනිසුරුවරයා විසින් ඔහුට දඩුවම් නියම කෙරිණි.
මීට පෙර නඩු විභාගවලදී සිදු වූයේ කුමක් ද?
2024 වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තරග පාවා දීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලබා සිටින දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහමන් නමැත්තාට කොළඹ මහාධිකරණය හමුවේ ඉකුත් නොවැම්බර් 12 වන දා අධිචෝදනා භාරදුන්නේ ය.
ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 2ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේ ය.
මෙම විත්තිකරු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතිකයකු බවත් මෙම නඩුකරය හේතුවෙන් විත්තිකරු වසර එකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින අතර මේ හේතුවෙන් ඔහුගේ පවුලේ කටයුතු මෙන් ම ව්‍යපාරික කටයුතුත් අඩාල වී තිබෙන බවත් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස එදින අධිකරණයේදී පැවසීය.
ඒ අනුව මෙම විත්තිකරු මෙම චෝදනාවලට වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කිරීමට සූදානම් බවත් ඒ පිළිබඳව තමන් නීතිපතිවරයා වෙත වාචිකව හා ලිඛිතව කරුණු සැලකිරීම් සිදු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ, විත්තිය විසින් ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.
ඉන් අනතුරුව මෙම නඩුව දෙසැම්බර් මස 8 වන දා කැඳවීමට නියම විය.
එල්ල වී ඇති චෝදනා මොනවා ද?
2024 LPL ක්‍රිකට් තරගාවලියේදී සිදුකිරීමට නියමිතව තිබූ මහා පරිමාණ තරග පාවා දීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
දඹුල්ල කණ්ඩායමට තමන්ට අවශ්‍ය ක්‍රීඩකයින් යොදාගෙන එල්.පී.එල් තරගාවලියේදී තමන්ට අවශ්‍ය ආකාරයට තරග පාවා දීම් කටයුතු සිදු කිරීම මෙම සැකකරුගේ අරමුණ වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
"තමා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් රැගෙන ආ බවත් සැකකරු සඳහන් කර තිබෙනවා," රජයේ නීතිඥ උදාර කරුණාතිලක මීට පෙර දිනකදී අධිකරණය හමුවේ පවසා තිබිණි.
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනතේ 05 සහ 06 යන වගන්තිය යටතේ මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් අතර සිද්ධියට අදාළ විමර්ශන අවසන් වී නොමැති නිසාත් තව දුරටත් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන නිසාත් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නීතිඥවරයා විසින් එහිදී ඉල්ලා සිටින ලදී.
'දඹුල්ල තන්ඩර්ස්' හිමිකරුවන් කවුද?
2023 වසරේ පැවති LPL තරගාවලියේ 'දඹුල්ල අවුරා' කණ්ඩායමේ හිමිකරු ලෙස කටයුතු කළ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල 2024 වසරේදී එම කණ්ඩායමේ හිමිකාරිත්වයෙන් ඉවත් විය.
ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමේ නව හිමිකරුවන් ලෙස ඉම්පීරියල් ස්පෝර්ට්ස් ගෲප් සමාගම ගිවිසුම්ගත විය.
එම සමාගමේ සම හිමිකරුවන් වන්නේ බංගලාදේශ ජාතිකයින් වන තමීම් රෙහෙමාන් සහ ගලාම් රාකීබ් වේ.
තමීම් රෙහෙමාන් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙකු වේ.
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ද දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මාන් සහභාගි වී තිබිණි.














