වැඩි මිලට තෙල් මිල දී ගත් බවට අර්ජුන හා ධම්මික රණතුංගට අධිචෝදනා

අර්ජුන

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලට ගැනීම තුළින් තෙල් නීතිගත සංස්ථාවට රු. මිලියන 800කට ආසන්න මුදලක් පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඔහුගේ සොහොයුරු ධම්මික රණතුංගට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබ තිබේ.

එම කොමිසම මේ පිළිබඳව බ්‍රහස්පතින්දා (ජන. 22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මෙම දැනුම් දීම සිදු කර තිබේ.

හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග යන අය විත්තිකරුවන් කරමින් දූෂණ විරෝධී පනත ප්‍රකාරව මහාධිකරණයේ අධිචෝදනා ගොනුකළ බව එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත.

චෝදනාව කුමක් ද?

2017 - 2018 වර්ෂයේ මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට නියමිතව තිබූ දිගු කාලීන ටෙන්ඩර් 3ක් අවලංගු කර, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් 27ක් යටතේ ඉන්ධන මිල දී ගැනීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කිරීම හා ඊට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට චෝදනා ගොනු කර තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උපාලි අබේරත්න අල්ලස් කොමිසමේ පරීක්ෂණ කමිටුවට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය කර තිබිණි.

ධම්මික රණතුංග අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීම

මෙම චෝදනාව සම්බන්ධයෙන් 2025 වසරේ දෙසැම්බර් මස 15 වන දා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත්තේ ය.

එදින ම ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිපත් කෙරුණු අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට නියමට නියෝග කළේ ය.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස ද ඔහුට අවවාද කෙරිණි.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ද්විත්ව පුරවැසියෙකු බැවින් ඔහුගේ ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කළේ ය.

මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග ද අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව එහිදී අල්ලස් කොමිසම විසින් අධිකරණයට දන්වනු ලැබිණි.

කෙසේ වෙතත්, ඔහු ඒ වන විට විදේශගතව සිටි බැවින් ඉදිරියේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්ධපෙරුම අධිකරණයට දැනුම් දුන්නා ය.

රජයට රුපියල් මිලියන 800ක පාඩුවක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2017 වසරේ ජුලි මස 27 වන දා දිගුකාලීන ටෙන්ඩර් පදනම යටතේ චයිනා පෙට්‍රෝ සමාගම වෙතින් දිගුකාලීන පදනම යටතේ ටෙන්ඩර් තුනක් මගින් ඉන්ධන මිල දී ගැනීමට ඛනිජ තෙල් සංස්ථාව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සකස් කර අමාත්‍ය මණ්ඩලයට යැවීමට සූදානම් කර තිබූ බව එදින නඩු විභාගයේදී සහකාර නීති

එම අවස්ථාවේදී ඊට විරෝධය පළ කළ මෙම සැකකරු එම දිගුකාලීන ටෙන්ඩර් තුන යටතේ ඉන්ධන මිල දී ගැනීම අවදානම් බවත් ඒ අනුව එම ටෙන්ඩර් කැඳවීම අවලංගු කරන ලෙස ප්‍රකාශ කර ඇතැයි සහකාර අධ්‍යක්ෂවරිය පැවසුවා ය.

පසුව මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා සැකකරු කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුවේ සාමාජිකයින් මෙම කාරණය සම්බන්ධයෙන් තමන්ට තීරණයක් දිය නොහැකි බව ප්‍රකාශ කර ඇතැයි කී අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය එම තීරණයට ප්‍රතිවිරුද්ධ තීරණයක් ලබා දෙන ලෙස සැකකරු එම කමිටුවේ නිලධාරීන්ට බලපෑම් සිදු කර තිබෙන බව ද සඳහන් කළා ය.

සැකකරුගේ එම ක්‍රියා කලාපය පිළිබඳව අදාළ කමිටුවේ සාමාජිකයින් මේ වනවිට අල්ලස් කොමිසමට ප්‍රකාශ ලබා දී තිබෙන බව ද ඇය පැවසුවා ය.

ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් ද මෙම කෙටි කාලීන මිල දී ගැනීම් නුසුදුසු බව සඳහන් කරනු ලැබ ඇති අතර ඒ අනුව දිගු කාලීන ටෙන්ඩර් යටතේ ඉන්ධන මිල දී ගැනීම සුදුසු බවට තීන්දු කළ බව ද ඇය සඳහන් කළා ය.

එවකට ජනාධිපතිවරයා ද දිගුකාලීන ඉන්ධන මිල දී ගැනීමේ ටෙන්ඩර් සුදුසු බවට මත පළ කර තිබූ බවත් ඇය සඳහන් කර සිටියා ය.

ඉන් පසුව දිගුකාලීන පදනම යටතේ ටෙන්ඩර් තුනක් චයිනා පෙට්‍රෝ සමාගමට ඉදිරිපත් කළ ද ලංසු කාලය අවසන් වීම නිසා එම සමාගම ඉන්ධන සැපයීම ප්‍රතික්ෂේප කළ බව කියා සිටි අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය පසුව රට තුළ ඛනිජ තෙල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා ස්ථානීය ටෙන්ඩර් 27ක් යටතේ ඉන්ධන මිල දී ගැනිමට සිදුවූ බවත් කියා සිටියා ය.

සැකකරුගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් රජයට රුපියල් මිලියන 800ක පමණ පාඩුවක් සිදුවූ බවත් ඇය සඳහන් කළා ය.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බැවින් මෙම සැකකරු රිමාන��ඩ් භාරයට පත් කරන ලෙස එහිදී ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළේ ය.

මෙම සැකකරු සම්බන්ධ විමර්ශන මේ වන විට සම්පූර්ණයෙන් ම අවසන් වී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙම සැකකරුට අල්ලස් කොමිසම විසින් පනවන ලද විදේශ ගමන් තහනමට විරුද්ධව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත් එම පෙත්සම මේ වන විට විභාගයට ගැනීමට අවසර දී තිබෙන බවත් සඳහන් කර සිටියේ ය.

කිසිදු දැනුවත් කිරීමකින් තොරව මෙම ආකාරයෙන් ඒක පාක්ෂිකව විදේශ ගමන් තහනම් පැනවීමට අල්ලස් කොමිසම ගත් තීරණය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවත් තම සේවා දායකයා විමර්ශනවලට පූර්ණ සහය ලබාදී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ඇපමත මුදා හැරීමට නියම කළ අතර මෙම නඩුකරය යළි මාර්තු මස 13 වන දා කැඳවන ලෙස නියම කළේ ය.