'අපේ බල්ලා 'චූටි' නැත්නම් අපි ඉවරයි, එයා සංඥාව දුන්නා අපි ජීවිත බේර ගත්තා'

වීඩියෝ ශීර්ෂ වැකිය, ‘අපේ බල්ලා ‘චූටි’ නැත්නම් අපි ඉවරයි, එයා සංඥාව දුන්නා අපි ජීවිත බේර ගත්තා’
'අපේ බල්ලා 'චූටි' නැත්නම් අපි ඉවරයි, එයා සංඥාව දුන්නා අපි ජීවිත බේර ගත්තා'
    • Author, සම්පත් දිසානායක සහ ෂර්ලි උපුල් කුමාර - මස්පන්න සිට
    • Role, බීබීසී සිංහල

'දිට්වා' සුළි කුණාටුව සමග ඇද හැළුණු ධාරාණිපාත වැසි මධ්‍යයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, මස්පන්න ප්‍රදේශයේ පිහිටි කන්දක් නායයාමෙන් එම නගරය සම්පූර්ණයෙන් ම පාහේ පස්වලින් වැසී ගොස් තිබේ.

අතුරු මාර්ගයක් ඔස්සේ බීබීසී සිංහල එම නගරයට ළඟා වූ අතර, එහිදී හමුවූ නගර වාසියෙකු වන ටී.එම්. තෙන්නකෝන් සිය අත්දැකීම අපට විස්තර කළේ ය.

තම නිවසේ ඇති කළ 'චූටි' නැමති සුරතල් සුනඛයා නිසා තමා ඇතුළු පවුලේ සාමාජිකයන්ට පමණක් නොව තවත් පිරිසකට දිවි බේරා ගැනීමට හැකි වූ බව තෙන්නකෝන් පැවසීය.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගේ සහ විහාරාධිපති හිමියන්ගේ මැදිහත්වීම මත නිවාසවලින් ඉවත් කළ නගර වාසීන් පිරිසක් මේ වන විට ප්‍රදේශයේ විහාරස්ථානයක තාවකාලිකව ලැඟුම්ගෙන සිටිති.

නගර වාසීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි වුණත් නගරයේ විශාල දේපළ හානියක් සිදු වී තිබේ. තැපැල් කාර්යාලය සහ වෙළෙඳසල් 13ක් , නිවාස දෙකක් , බස් රථ හතරකට සහ මස්පන්න නගරයේ බස් නැවතුම්පොළට මෙම නායයාමෙන් බරපතළ හානි සිදු වී තිබේ.

තෙන්නකෝන් පවසන්නේ, තමාගේ සහ පවුලේ සාමාජිකයින්ගේ දිවි බේරූ නිසා 'චූටි' කෙරෙහි තිබු ආදරය දැන් තවත් වැඩි වී ඇති බව ය.