ශ්‍රී පාදයේ හැටන් ප්‍රවේශ මාර්ගයේ වෙනසක්: දැනට අවදානම් කලාපයේ ගමන් සීමා කරන ලෙස NBRI අවධාරණය කරයි

ශ්‍රී පාදයේ සිදුව තිබු පස් කඳු කඩාවැටීම

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

    • Author, බීබීසී සිංහල

පසුගිය දෙසැම්බර් 04 වන දාට යෙදුණු උඳුවප් පොහොය දිනයෙන් මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඇරඹුණේ ඊට දින කිහිපයකට පෙර හැටන් ප්‍රවේශ මාර්ගයේ කොටසක පස් කඳු කඩාවැටීමක් සිදුව තිබූ අවස්ථාවක ය.

ශ්‍රී ලංකාවට බලපෑ දරුණු කාලගුණ තත්ත්වය හේතුවෙන් පස් කඳු කඩාවැටීමකින් හැටන් ප්‍රවේශ මාර්ගයේ මහගිරිදඹ, ඇහැල කණුව ප්‍රදේශයේ මාර්ගය අවහිර වී තිබිණි.

ශ්‍රී පාද වන්දනා සමය ඇරඹීමට පෙර එම කොටසේ බාධා ඉවත් කළ අතර, එම ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කණ්ඩායමක් විසින් නිරීක්ෂණය කරන ලදී.

එම නිරීක්ෂණයෙන් පසුව ඊට අදාළ නිර්දේශ නිකුත් කරමින් එම ආයතනය වන්දනාකරුවන්ට නිවේදනයක් නිකුත් කර තිබේ.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මොනවා ද?

දෙසැම්බර් 02 වන දින විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කළ විශේෂඥ කණ්ඩායමේ ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරුව, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම් දෙමින්, වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සහ මාර්ගයේ ස්ථායීතාව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය තාක්ෂණික නිර්දේශ මාලාවක් ඉදිරිපත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර තිබේ.

මෙම ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය අවම කිරීම සඳහා පහත සඳහන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස එම ආයතනය නිර්දේශ කර තිබේ.

  • පඩි පෙළ ප්‍රතිසංස්කරණය: අස්ථාවර වී ඇති කොටසේ හානියට පත් පඩි පෙළ, මව් පාෂාණයට සවි වන සේ සකස් කොට කොන්ක්‍රීට් හෝ ගල් බැම්මක් (Random Rubble Masonry) මගින් ශක්තිමත්ව නැවත සකස් කිරීම.
  • ජලය ගලා යාම පාලනය: නායයාම් සිදුවූ කොටසට ජලය ගලා ඒම වැළැක්වීම සඳහා පඩි පෙළේ දෙපසට වන්නට අවම වශයෙන් මිලිමීටර් 300ක් උසැති පැති බැම්මක් ඉදි කිරීම.
  • පාෂාණ කොටස් ස්ථාවර කිරීම: අස්ථාවර තත්ත්වයේ පවතින පාෂාණ කුස්තුර (Rock joints) සඳහා සිමෙන්ති ග්‍රෞට් මිශ්‍රණයක් (Non-shrink cement grout) යොදා සීල් තැබීම.
  • සුන්බුන් පාලනය: ප්‍රවේශ මාර්ගය හරහා සුන්බුන් ගලා ඒම වැළැක්වීම සඳහා, එහි පහළ කලාපයේ පිහිටි මාර්ග කොටසෙහි මිලිමීටර් 500ක් පමණ උසැති ආරක්ෂිත පැති බැම්මක් ඉදි කිරීම.
  • අවදානම් ශාක ඉවත් කිරීම: පඩි පෙළට ඉහළින් සහ දෙපස වියනක් සේ රැඳී ඇති ශාක කොටස්, අස්ථාවරව පවතින පස් සහ පඳුරු ප්‍රවේශමෙන් ඉවත් කිරීම.

මෙම නිර්දේශ ක්‍රියාත්මක කරන තෙක් දැනට පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ මෙම අස්ථාවර කලාපය හරහා ගමන් කිරීම සීමා කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අවධාරණය කරන බව එම නිවේදනයේ දැක්වේ.

මෙම නිර්දේශ අඩංගු ලිපිය ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමි, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා, නියෝජ්‍ය ආරක්ෂක ඇමති, ආරක්ෂක ලේකම්, යුද්ධ හමුදාපති, පොලිස්පති සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ භූ විද්‍යාඥ බුද්ධික විජේකෝන් සහ මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ශ්‍රී පාදස්ථානයේ සිට එම තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරන වීඩියෝවක් ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ යූටියුබ් නාලිකාවේ පළ කර තිබේ.

මෙම සංස්කරණය කර පළ කරන ලද වීඩියෝවේ ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් ද අදහස් පළ කරන අතර, අවහිර වූ මාර්ගය පිරිසිදු කර ගැනීමට අදාළ සහය රජයෙන් ලැබුණු බව උන් වහන්සේ පවසති.

පස් කඳු කඩා වැටීම පිරිසිදු කර ඇති ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, කඩා වැටී තිබූ පස් කඳු ඉවත් කර ඇති ආකාරය

හැටන් ප්‍රවේශ මාර්ගයේ වෙනසක්

මේ අතර, එම වීඩියෝවේ අදහස් දක්වන නිලධාරියෙකු පවසන්නේ, හැටන් ප්‍රවේශ මාර්ගය වෙනස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික් ලේකම්වරියට වාර්තාවක් ලබා දී ඇති බව ය.

"ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ඇවිල්ලා සම්පූර්ණ පරීක්ෂාවක් කරලා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත වාර්තාවක් ලබා දීලා තියෙනවා මේ සිරීපාද වන්දනා වාරය සිදු කිරීමේදී කොහොම ද සාමාන්‍ය ක්‍රමයට වඩා මේ ගමන් කරන මාර්ග වෙනස් විය යුත්තේ කියලා," ඔහු පැවසුවේ ය.

"ඒ වාර්තාව අනුව ඉඳිකටුපාන අබියස සිට පළාබද්දල පාරට එන බැතිමතුන් හරවා යවලා රත්නපුර පාරෙන් වන්දනා කිරීම සුදුසුයි කියලා තමයි යෝජනා කරලා තියෙන්නේ. අපි මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය පරිපාලනයට වගකියන නිලධාරීන් විදිහට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අදාළ නිර්දේශ අනුව මේ වන්දනා වාරය සඳහා පැමිණෙන බැතිමතුන් ඒ නිර්දේශවලට අනුව මග පෙන්වමින්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් මේ වන්දනා වාරය සාර්ථක කර ගන්න," නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ ය.

පොලිසියෙන් නිවේදනයක්

මේ අතර ශ්‍රී ලංකා පොලිසිය විසින් දෙසැම්බර් 05 වන දින නිකුත් කර ඇති නිවේදනයක, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් පරිදි හැටන් ප්‍රවේශ මාර්ගයේ සීමා කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කර තිබේ.

එමෙන් ම එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, බැතිමතුන් ඒ සඳහා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේදී පවතින කාලගුණ තත්ත්වය සහ ගමන් මාර්ග සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ය.

ශ්‍රී ලංකා පොලිසිය විසින් දෙසැම්බර් 05 වන දින නිකුත් කර ඇති නිවේදනය

ඡායාරූප මූලාශ්‍රය, SRI LANKA POLICE

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා පොලිසිය දෙසැම්බර් 05 වන දින නිකුත් කර ඇති නිවේදනය

'ශාක ඉවත් කිරීම විශේෂඥ දැනුම අනුව කළ යුතු දෙයක්'

බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාක පර්යේෂකයෙකු වන භාතිය ගොපල්ලව පැවසුවේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ලබා දී ඇති නිර්දේශ අනුව ශාක ඉවත් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව ය.

අවශ්‍යතාව අනුව ශාක ඉවත් කිරීමක් සිදු කරන්නේ නම් ඒ සඳහා විශේෂඥ සහය ලබා ගත යුතු බව ඔහු පැවසුවේ ය.

"මේ කියන කොටස ආශ්‍රිතව දුර්ලභ ශාක විශේෂ රැසක් තියෙනවා. ඒ දේවල් සම්බන්ධයෙන් හරියට තව ම අධ්‍යයනයක් කරලා නෑ. මේ කියන විදිහේ ශාක ඉවත් කිරීමක් කරනවා නම් ඒක හමුදාව හෝ පොලිසිය යොදා කරනවාට වඩා ඒ සම්බන්ධ ආයතනයවල නිලධාරීන්ගේ උපදෙස් පරිදි සිදු කරන එක වැදගත්," ඔහු පෙන්වා දුන්නේ ය.

'වනජීවී දෙපාර්තමේන්තුවට මෙතෙක් දැනුම්දීමක් කර නැහැ'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සමනල ස්වභාවික රක්ෂිතයේ භාරකාරත්වය ඇත්තේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වන අතර, ඉහත නිර්දේශ සම්බන්ධයෙන් හා ඉදිරියට ගන්නා පියවර සම්බන්ධයෙන් මෙතෙක් එම දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙන්නේ ද? යන්න පිළිබඳව බීබීසී සිංහල එම දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේ ය.

එහිදී එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක සඳහන් කළේ, මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් සිදු කර නොමැති බව ය.

ශාක ඉවත් කිරීම හෝ නව ඉදිකිරීම් සිදු කරන්නේ නම් ඒ සඳහා එම දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගත යුතු බව ඇය පැවසුවා ය.

කෙසේ නමුත් ඇය පැවසුවේ, පඩිපෙළ ප්‍රතිසංස්කරණය වැනි කටයතු සිදු කිරීමට බාධාවක් නැති බව ය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබෙන්නේ ද? යන්න පිළිබඳව බීබීසී සිංහල සේවය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීරගෙන් විමසීමක් කළේ ය.

"අවශ්‍ය කරන දේවල් කරනකම් සීමා කිරීම් කරන්න කියලා නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කරලා තියෙන්නේ. ඒ ලියුම දිස්ත්‍රික් ලේකම්ට දුන්න ම දිස්ත්‍රික් ලේකම්ගේ වගකීම තමයි අවශ්‍ය ඉතුරු කටයුතු කරන එක. දිස්ත්‍රික් ලේකම් නේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නිලධාරියා," ඔහු පැවසුවේ ය.

සමනල ස්වභාවික රක්ෂිතය වැදගත් ඇයි?

පරිසර අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ඇති වාර්තාවක දැක්වෙන ආකාරයට සමනල ස්වභාවික රක්ෂිතය හෙක්ටයාර 22,380කින් සමන්විත අතර, එය 1940 ඔක්තෝබර් 25 වන දින එවකට පැවති බ්‍රිතාන්‍ය යටත් විජිත රජය විසින් අභය භුමියක් ලෙස නම් කරනු ලැබී ය.

පසුකාලීනව එම අභය භූමියේ වැදගත්කම සලකා එහි හෙක්ටයාර 12,979ක් 2007දී ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කර තිබේ.

මෙම රක්ෂිතයේ හෙක්ටයාර 4,897ක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර, හෙක්ටයාර 17,483ක් රත්නපුරය දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ.

වාර්තාවේ දැක්වෙන ආකාරයට සමනල ස්වභාවික රක්ෂිතය අතිසංවේදී ජලපෝෂක ප්‍රදේශයකි.

එහි දැක්වෙන ආකාරයට මෙම රක්ෂිතයේ වසරකට ලැබෙන සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 5,000කි.

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂී වර්ග 34න් 25ක් මෙම ප්‍රදේශයේ ජීවත් වන අතර, මෙම ප්‍රදේශයේ ජීවත් වන මුළු පක්ෂි විශේෂ සංඛ්‍යාව 160ක් බව එහි දැක්වේ.

උඩවැඩියා වර්ග, ඇල්ගී, මහා හැඩයා වැනි දුර්ලභ ශාක රැසක් ඇති මෙම රක්ෂිතයේ, අලියා, කොටියා, හඳුන් දිවියා, සුවිශේෂී කටුස්සන් සහ මත්ස්‍ය විශේෂ ද ජීවත් වෙති.

කෙසේ වෙතත්, සෑම ශ්‍රී පාද වන්දනාවකදී ම ශ්‍රී පාදයේ විශාල කසළ ප්‍රමාණයක් ගොඩ ගැසෙන අතර ඒවා නිසි පරිදි බැහැර කිරීම ද සිදු නොවේ.

මෙලෙස එකතු වන කසළ අතර වැඩි වශයෙන් පොලිතින් සහ ප්ලාස්ටික් ඇති අතර, පස් කඳු කඩා වැටීම සිදුවූ ස්ථානයේ ද එලෙස විශාල කසළ ප්‍රමාණයක් තිබෙන අයුරු දැක ගත හැකි විය.