දිට්වා සුළි කුණාටුවෙන් බැට කෑ ප්‍රදේශවලට ඊසාන දිග මෝසමෙන් වැසි: දැඩි අවධානයක් යොමු කළ යුත්තේ ඇයි?

ජලගැල්මකට හසුවූ තිදෙනෙක් වැස්සට තෙමෙමින් ඇවිද යන ආකාරය
    • Author, බීබීසී සිංහල

දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ජලගැලීම් සහ නායයාම් ආපදා තත්ත්වයන්ගෙන් පීඩා විඳි ශ්‍රී ලාංකික ජනතාවට කාලගුණය පිළිබඳ තවත් අවදානම් තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබේ.

ඒ, ඊසාන දිග මෝසම් වැසි සමය සක්‍රීය වීම හේතුවෙනි.

දිට්වා සුලි කුණාටුවත් සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් තවමත් බොහෝ දෙනෙකු පීඩා විඳින පසුබිමක ඔවුන්ට මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇත.

මෙහි සුවිශේෂී කරුණක් වන්නේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි ඊසාන දිග මෝසම් වැසි ද දිට්වා සුළි කුණාටුවෙන් බැට කෑ ප්‍රදේශවලට ම වැඩි වශයෙන් ඇති වීම ය.

දිවයිනට බලපා ඇති ඊසාන දිග මෝසම් තත්ත්වය දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි මාස තුන පුරා පැවතිය හැකි අතර එම කාලය තුළ කාලගුණ තත්ත්වය සහ ඉන් විය හැකි බලපෑම පිළිබඳව බීබීසි සිංහල සේවය සොයා බැලීමක් සිදු කළේ ය.

ඊසාන දිග මෝසමෙන් වැඩි බලපෑමක් ඇති ප්‍රදේශ මොනවා ද?

උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලට ඊසාන දිග මෝසමේ වැඩි බලපෑමක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ, අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පවසයි.

"සමාන්‍යයෙන් ඊසාන දිග මෝසම බලපාන්නේ ගොඩක් වෙලාවට උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලට. ඔය ප්‍රදේශවලට තමයි වැඩිපුර ම වැසි එන්නේ. ඊට අමතරව මෝසම තරමක් දුර්වල වෙනකොට සවස් කාලයේ වැස්ස එන්න පුළුවන් බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට."

වැස්ස අඩු වැඩි වෙන්නේ කොහොම ද?

ඊසාන දිග මෝසම් තත්ත්වය මාස තුනක කාලයක් පැවතිය හැකි වුව ද, මාස තුන පුරා ම තද වැසි පවතින බව අදහස් නොවන බවත්, සුළං රටාවේ වෙනස්වීම් අනුව වැසි තත්ත්වය වෙනස් වන බවත් අනාවැකි අංශයේ අධ්‍යක්ෂවරයා බීබීසි සිංහල සේවයට පැවසීය.

"ඊසාන දිග මෝසමේදී ගොඩක් වෙලාවට සුළං අපට එන්නේ ඊසාන දිශාවෙන් හෝ නැගෙනහිර පැත්තෙන්. නැගෙනහිර පැත්තට බර වෙනකොට තමයි වැස්ස වැඩිපුර අපිට එන්නේ. සුළං උතුරු දිසාවට බරව එනකොට ඉන්දියානු ගොඩබිම හරහා එන වියළි සුළං තමයි එන්නේ, වියළි සීතල සුළං, එතකොට වැස්ස අපිට අඩු වෙනවා ඒ අනුව වැසි තත්ත්වයේ අඩු වැඩි වීම් වෙන්න පුළුවන් මේ සුළං රටාවේ වෙනස්වීම් එක්ක."

වැඩි ම වැසි තත්ත්වය ලැබෙන කාලය පිළිබඳව දැනට නිශ්චිතව පැවසිය නොහැකි බව කී කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි අධ්‍යක්ෂවරයා දෙසැම්බර් සහ ජනවාරි මාසවල මෝසම් වැස්ස පැවතෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

මීට පෙර වසරවල කාලගුණ වාර්තා සලකා බැලීමේදී බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයන් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ඒ සම්බන්ධව අවදානයෙන් පසු වන බව අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසීය.

තද වැසි ඇති වෙයි ද?

මෝසම් තත්ත්වය සක්‍රීය වන විට තද වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව මෙරිල් මෙන්ඩිස් බීබීසි සිංහල සේවයට පැවසීය.

"මෝසම සක්‍රීය වෙනකොට ගොඩක් වෙලාවට තද වැසි ඇති වෙන්න පුළුවන්. ඊයේත් අපි දැක්කා සමහර ස්ථාන, උතුරු පළාතේ මිලිමීටර් 100 ඉක්මවූ වැසි තියෙනවා. කැළඹිලි ස්වභාවයන් වර්ධනය වුණොත් ලංකාව ආශ්‍රිතව වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වෙනවා."

කැළඹිලි ස්භාවයන් සමග වැසි තත්ත්වයේ වැඩි වීමක් දක්නට ලැබීම ඊසාන දිග මෝසමේ ලක්ෂණයක් වන බවත්, දැනට එවන් තත්ත්වයන් නිරීක්ෂණය නොවන බවත් ඔහු කියා සිටියේ ය.

ගිගුරුම් සහිත වැසි ලැබෙන්නේ කුමන ප්‍රදේශවලට ද?

මෝසම් තත්ත්වය දුර්වල වන විට බස්නාහිර, සබරගමුව වැනි පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසීය.

"ටිකක් ප්‍රබල අකුණු ඇති වීමේ අවදානම තියෙන නිසා, අකුණු සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කිරීම ඉතා ම හොඳයි. පහුගිය දිනවලත් අපි දැක්කා අනතුරු සිදුවෙලා තියෙනවා."

නාවික හා ධීවර කටයුතුවලට බලපෑමක් වෙයි ද?

මෙම කාල වකවානුවේ ධීවර හා නාවික කටයුතුවලදී අවධානය යොමු කළ යුතු ආකාරය ද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැහැදිලි කළේය.

"දැනට ගැටලුවක් නැහැ, කැළඹිලි ස්භාවයන් මුකුත් නැහැ. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී අපි කියලා තියෙනවා අවධානයෙන් කටයුතු කරන්න කියන එක. මුහුදෙත් ගිගුරුම් සහිත වැසි තියෙනවා. ඒ අවස්ථාවලදී සැලකිලිමත් වෙන්න ඕනේ.

අනාවැකි අංශයේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ, ගිගුරුම් සහිත වැසි පවතින විට මුහුද තාවකාලිකව රළු විය හැකි බව ය.

'ජනතාව විශේෂ අවධානයකින් කටයුතු කළ යුතුයි'

ඊසාන දිග මෝසම සක්‍රීය වී ඇති මෙවන් කාලයක කාලගුණ තත්ත්වය පිළිබඳව ජනතාව සැලිකිලමත් විය යුත්තේ කුමන කරුණු සම්බන්ධව දැයි බීබීසි සිංහල සේවය, කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂවරයාගෙන් විමසීමක් කළේ ය.

"පැවති තත්ත්වයත් එක්ක සාපේක්ෂව තමයි අපිට මේක බලන්න වෙන්නේ. දිට්වා සුළි කුණාටුවත් එක්ක කඳු බෑවුම් ආශ්‍රිතව ඉතාමත්ව අස්ථාවර තත්ත්වයක් නේ තියෙන්නේ. ගොඩනැගිලි පර්යේෂණය ආයතනය පවා අනතුරු අඟවලා තිබුණා සුළු වැස්සකදී වුණත් නැවත නායයාම් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ සම්බන්ධව ජනතාව විශේෂ අවධානයකින් කටයුතු කරන්න ඕනෙ."

ගංවතුර හෝ නායයාම් පිළිබඳව අදාළ ආයතන නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් නිරන්තරයෙන් සැලකිලිමත් වන ලෙස ද අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

පවතින දත්ත අනුව ඉදිරි දින සඳහා කාලගුණ අනාවැකිය සකස් වන බවත්, දත්ත වෙනස් වීම මත අනාවැකි යාවත්කාලීන වන බැවින් ඒ සම්බන්ධව නිරන්තර අවදානයෙන් පසුවීම වැදගත් බව ඔහු අවධාරණය කළේ ය.

නායයාමේ අවදානමක් ඇති ප්‍රදේශ මොනවා ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පසුගිය දිනවල බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කඳුකර ප්‍රදේශවල නායයාම් කිහිපයක් ම වාර්තා විය.

දිවයිනට මේ වන විට බලපා ඇති ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයෙන් නායයාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර බීබීසි සිංහල සේවයට පැවසීය.

"මේ වෙනකොට නායයාමේ මූලික ලක්ෂණ පහළ වෙච්ච ස්ථාන තියෙනවා නේ. ඒ ස්ථානවල කොහොමත් ජලය සංතෘප්ත වෙලා තියෙන්නේ. ඒ නිසා නැවත යම් ආකාරයක වර්ෂාපතනයක් ලැබීම තුළින් එම ස්ථාන ගැලවී යාමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ජනතාව ඒ සම්බන්ධව විමසිලිමත් වෙන්න ඕන, සැලකිලිමත් වෙන්න ඕනා. ලබා දෙන උපදෙස් නිසියාකාරව පිළිපදින්න ඕන."

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායම් 46ක් අදාළ දිස්ත්‍රික්කවල පර්යේෂණ කටයුතු සිදුකරමින් ජනතාව වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සිටින බව ද ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර කියා සිටියේ ය.

දෙසැම්බර් 09 වන දා වන විට මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක් සඳහා නායයාමේ රතු නිවේදන නිකුත් කර තිබිණි.

එම ප්‍රදේශවල වෙසෙන්නන් වහා ම ඉන් ඉවත් විය යුතු බවට ද අනතුරු අඟවා තිබේ.

එම ප්‍රදේශ දැන ගැනීමට මේ ලිපිය බලන්න.