දිට්වා සුළි කුණාටුවට කොටුවී නුවරඑළියේ 'බස් රථයක් තුළ දින දෙකක්' ගතකළ ඉන්දීය සංචාරකයින් පිරිසකගේ අත්දැකීම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, නන්දිනී වෙල්ලස්වාමි
- Role, බීබීසී දෙමළ සේවය
"අපි ගමන් කරපු බස් එකට අඩි 100ක් විතර ඉස්සරහින් විශාල ගලක් පෙරළී ගියා. ටික වෙලාවකට කලින් ගියා නම් අනතුරක් සිද්ධ වෙන්න ඉඩ තිබුණා. දැඩි සීතල, වැස්ස සහ කුණාටුව දරාගෙන ලංකාවෙන් තමිල්නාඩුවට ගොඩක් දුෂ්කරතා මැද තමයි අපි ආපහු ආවේ," ඉන්දියාවේ චෙන්නායිහි පදිංචි 65 හැවිරිදි ෂන්මුගසුන්දරම් පවසයි.
ශ්‍රී ලංකාවට දැඩි හානි සිදුවූ 'දිට්වා සුළි කුණාටුව' ක්‍රියාත්මක වෙමින් තිබියදී, තමිල්නාඩුවේ සිට ශ්‍රී ලංකාව වෙත සංචාරය සඳහා ගොස් සිටි බොහෝ දෙනෙකු බොහෝ දුෂ්කරතා මැද යළි තමිල්නාඩුවට ගොස් තිබේ.
චෙන්නායිහි මුගප්පේර් ප්‍රදේශයේ පදිංචිකරුවන් 29 දෙනෙක් පසුගිය නොවැම්බර් 25 වන දා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියහ.
ඔවුන් අතර කාන්තාවන් 15 දෙනෙක් සහ වයස අවුරුදු 10ට අඩු දරුවන් දෙදෙනෙක් ද වූහ.
නොවැම්බර් 27 වන දා දක්වා සාර්ථකව ගත වූ සංචාරය ඉන්පසුව "අනතුරුදායක" ගමනක් බවට පත් විය. දැඩි වර්ෂාව සහ නායයාම් මධ්‍යයේ දින දෙකක් බස් රථයේ ම රැඳී සිටීමට ඔවුන්ට සිදු විය. දැඩි අන්ධකාරය මැද ප්‍රමාණවත් තරම් ජල පහසුකම් හෝ වැසිකිළි පහසුකම් නොමැතිව දුෂ්කරතා රැසක් මැද යළි තමිල්නාඩුවට පැමිණි බව, බීබීසී සමහ අදහස් දැක්වූ ඇතැම් මගීහු පැවසූහ.
ශ්‍රී ලංකාවට ගිය සංචාරක කණ්ඩායමේ සිටි චෙන්නායිහි පදිංචි සිදම්බරනාදන් නම් අයෙකු ද විය.
"ශ්‍රී ලංකාවට ගිහින් මුලින් ම අපි ත්‍රිකුණාමලය අවට සංචාරය කළා. නොවැම්බර් 27 වැනිදා එතැනින් මහනුවරට ගියා. මහනුවරදී වැස්ස පටන් ගත්ත නිසා අපිට ඊට පස්සේ කොහේවත් යන්න බැරි වුණා. ඒ නිසා එතැනින් නුවරඑළියට යන්න අපි තීරණය කළා. ඒත්, නුවරඑළියට යන අතරමගදී, අපිට නවාතැන් ගන්න තිබුණු හෝටලයට කිලෝමීටර් හයක් තියෙද්දී පාරේ නායයාමක් සිදු වෙලා මාර්ගය සම්පූර්ණයෙන් ම ඇහිරිලා ගියා."
නුවරඑළිය කඳුකර ප්‍රදේශයක් බැවින් එහි ගොස් සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු බස් රථයෙන් පහළට බැසීමට පිරිස තීරණය කර තිබිණි. එහෙත්, නායයාමෙන් මාර්ගය අවහිර වී තිබූ හෙයින් ඔවුන්ට කිසි ම ස්ථානයකට යාමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබේ.
බස් රථය තුළ දින දෙකක්
ඔවුන්ගේ බස් රථය නවතා තිබූ ප්‍රදේශයේ ජනාවාස පැවතියේ නැත. එය ඝන වනාන්තරයක් වැනි ප්‍රදේශයකි. තැනින් තැන තිබුණේ කුඩා ���ලෙවිසල් කිහිපයක් පමණි. ඔවුන්ගේ බස් රථය නවතා තිබූ ස්ථානයේ වෙනත් සංචාරකයින් පිරිසක් ද සිටියහ.
එබැවින්, නැවත බස් රථය හරවා මහනුවරට යාමට ඔවුන් තීරණය කළහ. නමුත්, එම ප්‍රදේශයේ ද ඇතැම් ප්‍රදේශවල නායයාම් සිදුවී තිබිණි.
"ඒ නිසා, අපේ බස් එක නවත්තලා තිබුණ තැන ම ඉන්න අපිට සිදු වුණා. ඒ ළඟපාත හෝටලයක්වත් තිබුණේ නැහැ. විදුලියත් විසන්ධි වෙලා. වතුරත් නැහැ," සිදම්බරනාදන් පැවසීය.
මේ හේතුවෙන් ඔවුන්ට බස් රථයේ ම රැඳී සිටීමට සිදු විය. ජංගම දුරකතනයේ විදුලි එළියෙන්, සීතල හා වර්ෂාව මැද බස් රථයේ ම කාලය ගත කිරීමට සිදු වීම ඉතා අපහසු වූ බව එම පිරිස පැවසූහ.
"මොබයිල් ෆෝන් ටෝච් එළියෙන් තමයි අපි එදා රෑ ගත කළේ. අපි ළඟ තිබුණු කුඩ කිහිපයකුත් හුළඟට ගසාගෙන ගියා," තවත් සංචාරකයෙකු වූ ෂන්මුගසුන්දරම් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කලයිවාණි නම් කාන්තාවක එම අත්දැකීම මෙසේ පැහැදිලි කළා ය: "කාන්තාවන්ට කොතැන ගියත් ගැටලුවක් වෙන්නේ වැසිකිළි පහසුකම් තමයි. ඒ වගේ අසීරු තත්ත්වයක ඒක කොහොම වෙන්න ඇති ද කියලා කියන්න අවශ්‍ය නැහැ. තද සීතලට නිතර වැසිකිළි යන්න සිදු වෙනවා. ඒත් බස් එකේ රැයක් ගත කරන කොට, පොඩි එළියක්වත් නැති තද අඳුරේ වැසිකිළි යන එක ඉතා ම අසීරු වුණා. අපි එකිනෙකා හිත හදාගෙන හිටියා."
ඇය වැඩිදුරටත් පවසා සිටියේ, "අපි මුළු රැයක් ම බස් එකේ ගත කළා. පහුව දා හවස තමයි කාන්තාවන්ට දුම්රිය ස්ථානයේ කාමරයකට යන්න ලැබුණේ. ප්‍රදේශ වාසීන් කිහිප දෙනෙකුත් අපිට උදව් කළා," යනුවෙනි.
බස් රථයේ සිටියදී ජංගම දුරකතන විසන්ධි වීම, බැට්රි ආරෝපණය කරගත නොහැකි වීම වැනි හේතු නිසා බාහිර ලෝකය හා සම්බන්ධ වීමට නොහැකි වූ බව ද මගීහු පවසති.
ඊළඟ දිනයේ සවස වන තෙක් චෙන්නායිහි සිටි තම මිතුරන් හා සමග සම්බන්ධ වී තොරතුරු ලබා දීමට නොහැකි වූ බව ඔවුහු පැවසූහ.
මේ අතර, ඔවුන් දුෂ්කරතා මධ්‍යයේ බස් රථයෙන් නානුඔය දුම්රිය ස්ථානයට පැමිණ තිබිණි.
අසල පිහිටි දුම්රිය ස්ථානයේ තිබූ විවේක කාමරයේ සහ කුඩා ආපන ශාලාවක තිබූ කාමරයක කාන්තාවන් සහ ළමුන් නවාතැන් ගත් නමුත් වෙනත් කාමර නොතිබූ බැවින් පිරිමින් දින දෙකක් පුරා බස් රථයේ ම රැඳී සිටි බව සිදම්බරනාදන් පැවසීය.
"බස් රථයේ ගත කළ දින දෙකේදී අපේ මාර්ගෝපදේශකයා විදිහට කටයුතු කරපු දිනේෂ් එයාට පුළුවන් විදිහට තෝසෙ, පරාටා වගේ ඒ අවට තිබුණ කෑම සහ වතුර වගේ දේවල් ගෙනත් දුන්නා," සිදම්බරනාදන් පැවසීය.
'විශාල ගල් පර්වතයක් පෙරළී ගියා'
මාර්ග යම් දුරකට පිළිසකර කර ඇති බව දැනුම් දීමෙන් පසු, නුවරඑළියට කිලෝමීටර් 6ක් පමණ දුරින් දිවෙන විකල්ප මාර්ගයකින් ධාවනය කිරීමට ඔවුන් තීරණය කර තිබිණි. එම අත්දැකීම ෂන්මුගසුන්දරම් පැහැදිලි කළේ ය.
"අපි ගිය බස් එකට මීටර් 100ක් විතර ඉස්සරහින් විශාල ගලක් කඩන් වැටුණා. ටික වෙලාවක් කලින් ගියා නම් ලොකු අනතුරක් සිද්ධ වෙන්න ඉඩ තිබුණා. හරියට පුංචි කන්දක් පාර ඉස්සරහ තිබුණා වගේ. එතැනදි බස් එක හරවන්නත් අමාරු වුණා. පැයෙන් පැයට අලුත් අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා," යැයි ඔහු පැවසීය.
මෙම නාය යාම තමන් තුළ දැඩි බියක් ඇති කළ බව කලයිවාණි සිහිපත් කරයි.
"නුවරඑළියට යනකොට බස් එක ඉදිරිපිට ම නායයාමක් සිද්ධ වුණා, ගලක් පෙරළුණා. ඒක හරි ම පුංචි පාරක් නිසා රියැදුරු මහත්තයා හරි ම අමාරුවෙන් බස් එක හැරෙව්වා. ඒ වෙලාවෙ හුඟාක් බයක් හිතුණා. වාසනාවකට කාටවත් කිසි ම කරදරයක් සිද්ධ වුණේ නැහැ," කලයිවාණි පැවසුවා ය.
දැඩි සීතල මධ්‍යයේ බස් රථයේ ගමන් කිරීම ඉතා දුෂ්කර වූ බව ඇය සඳහන් කළා ය.
චෙන්නායිහි සිටි මිතුරන්ගේ සහය ඇතිව මෙම සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සහය ලබා ගැනීමට හැකි වී තිබිණි.
තව ද, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිවරයා වන සෙන්දිල් තොණ්ඩමන් තමන්ට උපකාර කළ බව බීබීසී සමග අදහස් දැක්වූ සංචාරක කණ්ඩායම පැවසීය.
ඉන් පසු මගීන් අනතුරුදායක මාර්ගයක් ඔස්සේ හැටන් නම් කුඩා නගරයට පැමිණ ඇත.
ඉන්පසුව, නැවත සිය රට බලා යාම සඳහා හැටන් සිට කොළඹට යාමට ඔවුහු තීරණය කළහ. හැටන් සිට කොළඹ දක්වා කිලෝමීටර් 132ක් පමණ දුරක් තිබේ. සාමාන්‍යයෙන් පැය 4කින් ළඟා විය හැකි මෙම දුර ළඟා වීම සඳහා අනතුරුදායක මාර්ගයක් ඔස්සේ ඔවුන්ට පැය 13ක් පමණ ගමන් කිරීමට සිදුවී ඇත.
"නොවැම්බර් 29 වෙනි දා තමයි අපිට ආරක්ෂිත ස්ථානයකට යන්න ලැබුණේ. නොවැම්බර් 30 වෙනි දා පැය 13ක් ගමන් කරලා අපි කොළඹට ආවා. කොළඹට එනකොට රෑ 12 විතර වුණා. එදා හවස 6.30ට නැවත යන්න තිබුණු අපේ ගුවන් යානය අපට මග හැරුණ��. ඒ නිසා, තමිල්නාඩු රජයේ සහ සෙන්දිල් තොණ්ඩමන්ගේ සහය ඇතිව, ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරලා අපි කලින් වෙන් කර තිබූ ගුවන් ටිකට්පත්වලින් ම රාත්‍රී ගුවන් යානයකින් නැවත චෙන්නායිවලට ආවා," චිදම්බරනාදන් පැවසීය.














