අම්බුළුවාවට එරෙහිව ආණ්ඩුව දුන් නිර්දේශයට අභියාචනාධිකරණයෙන් තාවකාලික තහනමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම සඳහා වූ අනුමැතිය අවලංගු කිරීම පිළිබඳව උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු පිරිසක් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය සම්බන්ධයෙන් ලබන 15 වන දා දක්වා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
අම්බුළුවාවේ දි. මු. ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින්මෙම නියෝගය නිකුත් කරනු ලැබී ය.
පෙත්සමේ තර්ක
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට අයත් ඉඩම සඳහා වූ අනුමැතිය අවලංගු කිරීමේ අවදානමක් මතුව තිබෙන බව පෙන්වා දුන්නේ ය.
එම නිසා මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත්, එතෙක් අදාළ ඉඩම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා කියා සිටියේ, මෙම නඩුකරය සඳහා පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට උපදෙස් ලබා ගැනීමට කාලය අවශ්‍ය බැවින් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙස ය.
තමන්ට වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලැබී නොමැති නිසා පෙත්සම්කාර පාර්ශවය ඉල්ලා සිටින අතුරු තහනම් නියෝග සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවත් රජයේ නීතිඥවරයා පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 15 වන දා කැඳවන ලෙස නියෝග කළේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එදින තෙක් අදාළ ඉඩම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේ ය.
අම්බුළුවාව ජෛව විවිධත්ව සංවර්ධන කලාපය පිහිටා තිබෙන ඉඩම 2001 වසරේ එවකට බලයේ සිටි ජනාධිපතිනිය විසින් ප්‍රදානයක් වශයෙන් ලබාදුන් බව පෙත්සම්කරුවෝ පවසති.
අදාළ ඉඩම අභය භූමි කලාපයක් වශයෙන් සංවර්ධනය කර තිබෙන අතර, ඒ සඳහා රුපියල් බිලියන දෙකකට වැඩි මුදලක් වැය කර තිබෙන බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දුන්හ.
එම කලාපය තුළ දේශීය හා විදේශීය සංචාරකයන්ගේ සිත් දිනා ගෙන ඇති කුළුණක්, ළමා උද්‍යානයක්, සියලු ආගම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ස්ථාපනය කළ පූජනීය ස්ථාන, අතිනවීන තාක්ෂණයෙන් සමන්විත සම්මන්ත්‍රණ ශාලාවක්, අමුත්තන්ට නවාතැන් ගැනීම සඳහා නවාතැන් පොළවල් ඇතුළු අංග කීපයක් මෙම කලාපයේ අන්තර්ගතව තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
මෑතකදී ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය ද මේ අම්බුළුවාව ව්‍යාපෘතිය කේන්ද්‍ර කරගෙන ආරම්භ කෙරුණු බවත් පෙත්සමේ සඳහන් වෙයි.
වග උත්තරකාර උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය ඉකුත් මාර්තු මස 06 වන දා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් පෙත්සම්කාර පදනම විසින් ඔවුන්ට අදාළ ඉඩමේ කොන්දේසි උල්ලංඝනය කර තිබෙන බවට කරුණු දක්වා තිබූ බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
මේ කරුණට අදාළව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබෙන බවට තොරතුරු දැන ගන්නට ලැබී ඇති බවත් පෙත්සම්කරුවෝ සඳහන් කළහ.
තම භාරය වෙත රජය විසින් ලබා දෙනු ලැබූ ඉඩමේ අනුමැතිය අවලංගු කිරීමේ අරමුණින් වගඋත්තරකරුවන් ක්‍රියාකරන බවත්, අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට බාධා කිරීම සම්බන්ධයෙන් ගොනු කෙරුණු පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය එම ව්‍යාපෘතියට බාධා නොකරන ලෙස උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරියට මෑතකදී නියෝග කර තිබූ බවත් පෙත්සම්රුවෝ චෝදනා කරති.
ඒ අනුව, අදාළ ඉඩම සඳහා වූ අනුමැතිය අවලංගු කිරීමට වගඋත්තරකරුවන් දරන උත්සහය සම්පූර්ණයෙන් ම ද්වේශසහගත මෙන් ම නීතියට පටහැනි ක්‍රියාවක් බවත්, එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර තමන්ගෙන් කිසිදු කරුණු විමසීමක් සිදු කිරීමට ඔවුන් කටයුතු කර නොමැති බවත් පෙත්සන්කරුවෝ පැවසූහ.
ඒ අනුව, තමන්ට එවකට රටේ ජනාධිපති ධූරය දැරූ තැනැත්තා විසින් ප්‍රදානය කරනු ලැබ තිබෙන අදාළ ඉඩම සඳහා වූ අනුමැතිය අවලංගු කරන ලෙස වගඋත්තරකරුවන් විසින් යොමු කරනු ලැබ තිබෙන ලිපි බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.
එමෙන් ම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ ඉඩම සඳහා වූ අනුමැතිය බලරහිත කිරීම වළක්වාලමින් වග උත්තරකරුවන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ඒ. දිල්රුක්ෂි ජයරත්න, ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා, මහනුවර දිසා ලේකම්වරයා, ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා, මහා භාරකාරවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.














