ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයට උපකාර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මානුෂීය සැලැස්මක් දියත් කරයි

UN

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ශ්‍රී ලංකාවේ ජනතාව නැවත නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව එම සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඔන්ඩ්‍රේ ෆ්‍රාන්ච් (Marc-André Franche) පවසයි.

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අද (දෙසැ: 11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මිලියන 02කට ආසන්න ජනතාවක් පීඩාවට පත්ව ඇති බව ය.

මූලික ඇස්තුමේන්තුවට වඩා සිදුව ඇති හානිය විශාල බවත්, මෙම හදිසි තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා දිගු කාලීන හා කෙටි කාලීන විසඳුම් ලබාදීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අවශ්‍ය බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේදී පැවසුවේ ය.

'ඉක්මනින් සහන සලසන්න අවශ්‍ය යි'

විපතට පත් මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා ආපදා තත්ත්වය ආරම්භයේ සිට ම කටයුතු කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඔන්ඩ්‍රේ ෆ්‍රාන්ච් (Marc-André Franche) එහිදී පැවසීය.

කොවිඩ් වසංගතයෙන් පසුව මෙරට ඇති වූ ආර්ථික කඩා වැටීම සහ ඉන්පසුව මෑත 20 වසරක කාලය තුළදී ශ්‍රී ලංකාව මුහුණ දුන් භයානක ස්වාභාවික ව්‍යවසනය හමුවේ පීඩාවට පත්ව සිටින මිලියන 2.2කට ආසන්න ජනතාවට සහන සැලසිය යුතු බව ද ඔහු එම මාධ්‍ය හමුවේදී පැවසුවේ ය.

"ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 25%ක පමණ ප්‍රමාණයක් දරිද්‍රතාවට මුහුණ දී සිටිනවා. ඔවුන්ට සහන සැලසීම සිදුකළ යුතු යි. මෙම ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ එකමුතුකම සහ පරිත්‍යාගශීලිත්වය මම දැක්කා. මම ඇත්තට ම ඒක අගය කරනවා. සමහර විට මගේ ම රටේ මේ වගේ තත්ත්වයක් ඇති වුණත් මේ වගේ ජනතාවගේ පරිත්‍යාගශීලීත්වයක් දකින්න ඉඩක් නැති වෙන්න පුළුවන්."

"මෙම ව්‍යසනය ආරම්භයේදී ඉඳලා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජය වගේ ම, ආපදා කළමනාකරණ ඒකකය එක්ක වැඩ කළා. අපි මුලින් ම අවශ්‍ය පිසූ ආහාර වගේ ම පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කරලා දෙන්න කටයුතු කළා."

"එක්සත් ජාතීන්ගේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයක් තියෙනවා. ඒ හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5ක් ලංකාවේ ඇති වූ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් වෙන් කර තියෙනවා," ඔහු පැවසුවේ ය.

ගංවතුර තත්ත්වයෙන් පසු නිවෙස පිරිසිදු කරන කාන්තාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විපතට පත් මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා ආපදා තත්ත්වය ආරම්භයේ සිට ම කටයුතු කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඔන්ඩ්‍රේ ෆ්‍රාන්ච් (Marc-André Franche) පැවසීය.

ඉදිරි සැලසුම් සඳහා ඩොලර් මිලියන 35ක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ආපදා තත්ත්වය හමුවේ මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව අංශ 7ක් ආවරණය වන පරිදි ප්‍රමුඛතා ලැයිස්තුවක් මේ වෙනුවෙන් සකස් කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ ජනමාධ්‍ය හමුවේ කරුණු දක්වමින් පැවසීය්.

"අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය ඇතුළු අංශ 07ක් දැනට අපි හඳුනාගෙන තියෙනවා. ඒ අංශ 07 යටතේ ඉදිරියේදී විපතට පත්වූ පුද්ගලයින් වෙනුවෙන් සහන සැලසීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තියෙනවා."

"ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 35ක් එක් රැස් කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා. අපි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් වගේ ම පරිත්‍යාගශීලී රටවලින් මේ සඳහා උදව් ඉල්ලා තියෙනවා. මේ ඩොලර් මිලියන 35 ණයක් හැටියට නෙමෙයි ප්‍රදානයක් හැටියට යි ලබා දෙන්නේ."

"ඔස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපා සංගමය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලබා දෙන ලද සහයෝගය ඇතිව දැනටමත් අමෙරිකානු ඩොලර් මිලියන 9.5ක් ලැබී තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ තවත් අමෙරිකානු ඩොලර් මිලියන 26ක් රැස්කර ගැනීමට උත්සාහ කරනවා," ඔහු කියා සිටියේ ය.

මේ වන විට අසල්වැසි රටවල් ඇතුළු රටවල් 21ක් ශ්‍රී ලංකාවට බලපෑ ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් ඇති වූ ආපදාවට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉදිරිපත්වී ඇති බවත්, දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සෙසු රාජ්‍යයන් සමග පවත්වාගෙන ගොස් ඇති සම්න්බන්ධකම් ඉන් ගම්‍ය වන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ය.