ජලගැලීම් සහ අධික වර්ෂාව නිසා විනාශ වූ ඔබේ අත්‍යවශ්‍ය ලේඛන යළි ලබා ගන්නේ කෙසේ ද?

ජලගැලීම්වලින් විනාශ වූ ලේඛන

සුළි සුළං සහ අධික වැසි හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වය නිසා බොහෝ දෙන��කුට ඉතිරි වූයේ, ඇඳිවත පමණි.

ඇතැමුන්ට තම ජීවිත කාලය පුරා ම උපයා ගත් බොහෝ දේ මෙන් ම හිසට සෙවණ දුන් නිවෙස් ද අහිමි විය.

එලෙස අහිමි වූ අත්‍යවශ්‍ය ලේඛන කිහිපයක් තිබේ.

ඒ අතර ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය, රියැදුරු බලපත්‍රය සහ රථවාහන ලියාපදිංචි සහතික (වාහනයේ පොත) වැනි වැදගත් ලේඛන කිහිපයක් වේ.

පවතින ආපදා තත්ත්වය හමුවේ එවැනි දෑ විනාශ වී ගිය හෝ නැති වුණු පුද්ගලයන්හට ඒවා නැවත ලබා ගත හැකි ආකාරය පිළිබඳව බීබීසි සිංහල සේවය සොයා බැලීමක් කළේ ය.

හැඳුනුම්පත නැවත සකසා ගන්නේ කෙසේ ද?

ආපදා තත්ත්වය හේතුවෙන් හැඳුනුම්පත නැති වූ බවට ආසන්නතම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර, දැනට පවතින සමාන්‍ය ක්‍රමවේදය ඔස්සේ ජාතික හැඳුනුම්පත ලබා හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් මාලිකා සූරියප්පෙරුම බීබීසි සිංහල සේවයට පැවසුවා ය.

එක් දින සේවය හෝ සමාන්‍ය සේවය ඔස්සේ ජාතික හැඳුනුම්පතක් ලබා ගන්නා ආකාරය පිළිබඳව විස්තර සහිතව මීට ඉහතදී බීබීසි සිංහල සේවය පළ කළ 'රස්තියාදු නොවී ජාතික හැඳුනුම්පත ලබා ගන්නේ මෙහෙමයි' ලිපියෙන් තවදුරටත් ඔබට තොරතුරු ලබා ගත හැකි ය.

"ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් හරහා තමයි අපිට එන්න ඕනේ අයදුම්පත. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අයිඩෙන්ටිටි කාඩ් ඔෆිස් එකේ යුනිට් එක තියෙනවා. මේ මොහොත වෙනකොට නම් ආපදා තත්ත්වය එක්ක ඒ වැඩවලට අපේ ස්ටාෆ් එක යොදවන්න කියලා අපි කියලා තියෙන්නේ. කවුරුහරි ග්‍රාම නිලධාරී හරහා ඇප්ලිකේෂන් ගෙනාවොත් අපිට ඉස්සරහට ඒ වැඩේ කරලා දෙන්න පුළුවන්," වැඩබලන කොමසාරිස්වරිය පැවසීය.

විභාග ප්‍රතිඵල සහතිකයක් නැවත ලබා ගන්නේ කෙසේ ද?

ආපදාවට ලක්ව විනාශයට පත්ව ඇති විභාග ප්‍රතිඵල සහතික, විභාග දෙපාර්තුමේන්තුවේ වෙබි අඩවිය ඔස්සේ ඉල්ලුම් කර ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ බීබීසි සිංහල සේවයට පැවසුවා ය.

"දැනට තව ම නම් එහෙම ඉල්ලීම් ආවේ නැහැ. අපේ වෙබි සයිට් එකෙන් ගන්න පුළුවන් ඒ අයට සමාන්‍ය ඔන්ලයින් ක්‍රමයට."

විභාග ප්‍රතිඵල ලබා ගැනීමට විභාග අංකය නොමැති අයට එය ලබා ගැනීමට හැකියාව ඇති බවත්, ඒ සඳහා විභාග දෙපාර්තුමේන්තුවට පැමිණ අයදුම්පත්‍රයක් යොමු කළ යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා ය.

උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍ර විනාශ වුණා ද?

අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙමින් තිබියදී සිදුවූ ස්වාභාවික ආපදා තත්ත්වය හේතුවෙන් විභාගය ද කල් දමනු ලැබී ය.

එම විභාග අපේක්ෂකයින්ගේ විභාග ප්‍රවේශ පත්‍ර විනාශ වී ඇත්නම් ඒ සඳහා විකල්ප ක්‍රම හඳුන්වා දෙන බව ද ඇය කියා සිටියා ය.

"ඇඩ්මිෂන් දැනට ශාලාධිපති භාරයේ තියෙන්නේ. තාම තොරතුරු අපිට වාර්තා වෙලා නැහැ කමියුනිකේෂන් නැති නිසා. තවම තොරතුරු ගන්න බැහැ. ඒ තොරතුරු ආවාට පස්සේ ඇඩ්මිෂන් නැති අයට වෙනත් විකල්ප ක්‍රමයක් දෙනවා."

ගංවතුර ලේඛන

ඡායාරූප මූලාශ්‍රය, Department of Export Agriculture - Sri Lanka

උප්පැන්න, විවාහ සහ මරණ සහතික

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නිවාස ජලගැලීම්වලට ගොදුරුවීම හේතුවෙන් බොහෝ දෙනෙකුගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික විනාශයට පත්වී තිබේ. ඒවා නැවත ලබා ගත හැක්කේ කෙසේ ද?

උප්පැන්න නොමැති පුද්ගලයන්හට ජංගම සේවය ඔස්සේ උප්පැන්න සහතික ලබා දෙමින් තිබියදී ආපදා තත්ත්වය ඇති වූ බව පැවසූ රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තුමේන්තුවේ, රෙජිස්ටාර් ජනරාල් එස්. ජලදීපන් බීබීසි සිංහල සේවයට පැවසීය.

"අපි කරගෙන ගියා මේ ඩිසාස්ටර් එකට පෙර ජංගම සේවා උප්පැන්න දෙන්න, ඒකෙන් ගත්ත අයටත් දැන් නැති වුණා නේ. අපි අයෙ ම පටන් ගන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්, මුලින් ම වැඩියෙන් ම බලපෑම් වෙච්ච දිස්ත්‍රික්ක අපි ඩිසාස්ටර් සෙන්ටර් අරගෙන තියෙනවා. මේ වෙනකොට අපි ඒක සැලසුම් කරගෙන යනවා ජංගම සේවා පවත්වන්න."

කෙසේ වෙතත්, මේ වන විට මූලිකත්වය දී ඇත්තේ, ආපදාව හේතුවෙන් මරණයට පත්වූවන්ට මරණ සහතික ලබා දීම සහ අතුරුදන් වූවන් වෙනුවෙන්, අතුරුදන් වී ඇති බව සඳහන් සහතික නිකුත් කිරීමට බව ජනරාල්වරිය කියා සිටියා ය.

එමෙන් ම, 2025 වසරේ මුල් මාස කිහිපය දක්වා වූ උප්පැන්න, විවාහ සහ මරණ සහතික ඔන්ලයින් සේවාව ඔස්සේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගත හැකි ය.

වාහනයේ පොත සහ රියැදුරු බලපත්‍රය ලබා ගන්නේ කෙසේ ද?

ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වී ගිය හෝ නැති වූ රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට දැනටමත් හැකියාව පවතින බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.

ආපදා තත්ත්වය හේතුවෙන් රියැදුරු බලපත්‍රය නැති වූ බවට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර, එහි පිටපතක් රැගෙන ඒමෙන් රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට හැකියාවක් ඇතැයි කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

"පොලිසියේ පැමිණිල්ලක් දාපුවා ම පොලිස් වාර්තාවක් දෙනවා නේ. ඒක තමයි මුල් ම ලේඛනය. ඒක අරගෙන අපිට ගාවට ආවා ම ඩ්‍රයිවින් ලයිසන් එකේ අංකය තියෙනවා නම් හරි, ID එකේ අංකයක් තියෙනවා නම් අපේ සිස්ටම් එකෙන් හොයා ගන්න පුළුවන්. ඒකෙන් බලලා අපි ඩුප්ලිකේට් එකක් දෙනවා."

පවතින තත්ත්වය හේතුවෙන් වාහනයේ ලියාපදිංචි සහතිකය (වාහනයේ පොත) විනාශ වී හෝ අස්ථානගත වූ විට ඒ සඳහා කළ යුතු දේ මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේ ය.

ඒ සඳහා ද තමන් පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සටහන් කර එහි පිටපතක් ලබා ගත යුතු ය.

"ඒ වාහන පරීක්ෂා කරලා බලලා, තව අපිට හිතුණොත් තොරතුරු මදි නම් ප්‍රාදේශීය ලේකම්ගෙන්, ග්‍රාම නිලධාරීගේ වාර්තා කැඳවලා අවශ්‍ය කටයුතු කරනවා. මීට පෙර ගංවතුරවලදීත් එහෙම තමයි කළේ, මේ පාරත් එහෙම කරනවා," මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ජලයෙන් තෙමුණු ලේඛන ආරක්ෂා කර ගැනීමට ගත යුතු පියවර

ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ රාජ්‍ය ආයතනවල ලියකියවිලි ආරක්ෂා කර ගැනීමට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව මග පෙන්වීමක් ලබා දී තිබේ.

ජලය බැස ගිය මොහොතේ සිට හානි වූ ලේඛන බේරා ගැනීමට පැය 48 - 72ක කාලයක් ප්‍රමාණත් බව ලේඛනාරක්ෂත දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.

ඒ සඳහා වූ උපදෙස් මාලාවක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුවේ, ප්‍රධාන සංරක්ෂණ නිලධාරී (අධිලේඛන), නිලන්ති පුෂ්පලතා පැහැදිලි කළා ය.

"ජලයෙන් ලේඛන ඉවතට ගැනීමේදී ආධාරකයක් යොදා ගන්න පුළුවන්. අතින් ලේඛන ගන්න ගියා ම එක පාරට අතින් ලිස්සුවා ම ඒ ලේඛන තවත් අවදානමට ලක් වෙනවා. ආධාරකයක් කියන්නේ ඒ ලේඛනය හා සමාන ප්ලාස්ටික් කැබැල්ලක් නැති නම් ලෑලි කැබැල්ලක් ඒ වගේ යම්කිසි ආධාරකයක් යටින් තබලා ඒ ලේඛනය ඔසවා ජලයෙන් වෙන් කරගෙන වියළි ප්‍රදේශයක හරි තෙතමනයක් නැති ප්‍රදේශයක හරි තියාගන්න පුළුවන්. මේ ලේඛන අතරින් අධික ලෙස තෙත් වූ, තෙත් වූ, සුළු වශයෙන් තෙත් වූ වියළි හා අපිරිසිදු ලේඛන ඒ වගේ ම තීන්ත බොඳ වූ ලේඛන වශයෙන් මේවා වෙන් කර ගන්න පුළුවන්."

තෙත් වූ ලේඛනවල තෙත ගතිය වැඩි නම් පළමුව එය අධිශීතකරණයක දැමීමෙන් තෙත් භාවය අඩු ��ර ගත හැකි බවත් එසේ බහාලන විට, එක් වෙළුමකට ඉටි කොළයක් හෝ පොලිතින් කැබැල්ලක් බැගින් එතීම කළ යුතු අතර, එසේ නොකළහොත් ඒවා එකිනෙකට ඇලීමට හැකියාවක් පවතී.

ඉන්පසු ලේඛන වියළි තෙත රහිත ස්ථානයක තබා පවනේ වෙලා ගත හැකි බව පවසන ප්‍රධාන සංරක්ෂණ නිලධාරිනිය, එහිදී පැදුරක්, ඉටි කොළයක් වැනි යමක් උඩින් තෙත උරා ගන්නා රෙදි කැබැල්ලක් තබා ඒ මත ලේඛන තබන ලෙස උපදෙස් දී තිබේ.

තෙත් වූ ලේඛන හිරු එළියෙන් වියළීමෙන් වළකින ලෙසත්, ඒවා එක මත එක ගොඩ ගැසීමෙන් වළකින ලෙසත් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව පවසයි.