නිර්මාල් සියඹලාපිටිය: ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට දින තුනකට පෙර හෙලිකොප්ටර් අනතුරින් මියගිය නියමුවා

ඡායාරූප මූලාශ්‍රය, Provided
- Author, බීබීසී සිංහල
ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම සඳහා යාත්‍රා කරමින් තිබියදී වෙන්නප්පුව - ලුණුවිල පාලම අසලදී හදිසියේ ගොඩබස්වන ලද ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීමෙන් මිය ගිය එහි නියමුවෙකු වූ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටියගේ පශ්චාත් උපාධි සහතිකය සහ රතු පැහැති ලෝගුව අද (දෙසැ: 03) ඔහුගේ දේහය මත තැන්පත් කෙරිණි.
ඒ, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අතිනි.
වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය අද (දෙසැ: 03) කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවයේදී සිය ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Provided
ශාස්ත්‍රපති උපාධිය
වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය අවසන් කර සිටි අයෙකි.
එහි උපාධි ප්‍රදානෝත්සවය දෙසැම්බර් 03 වන දාට යෙදී තිබෙන අතර, එහිදී වසර දෙකක් තිස්සේ හැදෑරූ ශාස්ත්‍රපති උපාධි ලෝගුව පැළඳීමේ අපේක්ෂාවෙන් පසුවිය.
ඔහුගේ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ ආචාර්යවරියක වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පවිත්‍රා ජයවර්ධන බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය.
"මාස්ටර් ඔෆ් ආට්ස් (ඉන්ටර්නැෂනල් රිලේෂන්ස්) කියල අපේ අවුරුදු දෙකක පශ්චාත් උපාධියක් තියෙනවා. ඒකෙ 23/24 බැච් එකේ ස්ටුඩන්ට් කෙනෙක් තමයි නිර්මාල්. එයා තමන්ගෙ රැකියාවත් කරන අතරේ සියලු නිබන්ධන වෙලාවට අවසන් කරල හොඳින් වැඩ කරපු කෙනෙක්. එයාගෙ අමාරු වර්ක් ෂෙඩියුල් එක ඇතුළෙ පවා එයා හැම දා ම දේශනවලට ආපු කැපවීමෙන් වැඩ කරපු කෙනෙක්. ඇත්තට ම එයාගෙ කොන්වොකේෂන් එක තියන්න තිබුණෙ හෙට යි අනිද්ද යි. ඒ ගැන හරි ම කනගාටු යි."
මේ අතර, ශාස්ත්‍රපති පාඨමාලාවේ සම්බන්ධීකාරක ආචාර්ය චමින්ද පද්මකුමාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, නිර්මාල් සියඹලාපිටිය අතිශය සුහදශීලීව වසර දෙකක කාලයක් තමන් සමග කටයුතු කළ බව ය.
මේ අතර, ඔහු සමග ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ මිතුරු මිතුරියන් මෙන් ම ඔහුට ඉගැන්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද සමාජ මාධ්‍ය ඔස්සේ සිය හැඟීම් පළ කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප මූලාශ්‍රය, Facebook
ඔහුගේ මිතුරන් පවසන්නේ, එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්වලට සම්බන්ධ වීමේ අපේක්ෂාවක් ඔහු තුළ පැවති බව ය.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ද ඔහු පෙළඹී ඇත්තේ, එම අරමුණ ඇතිව ය.
ගුවන් හමුදා සේවය

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Air Force
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නිර්මාල් සියඹලාපිටිය ගුවන් හමුදාවට බැඳී ඇත්තේ, 2005 වසරේ ජූලි 06 වන දා ය.
ගුවන් හමුදාවේ සාමාන්‍ය රාජකාරි (General Duties) දෙපාර්තමේන්තුවේ ගුවන් නියමුවෙකු ලෙස ඔහු සේවය කළේ ය.
වසර 25කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර තිබූ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය, පියාසර පැය 3000ක් ඉක්මවා සිටි බව ය.
දේශීය සහ විදෙස් පුහුණු සැසි කිහිපයකට සම්බන්ධ වී ඇති ඔහු එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පිළිබඳ පුහුණුවක් ද ලබා තිබේ.
ගුවන් නියමු සහ ජාත්‍යන්තර සබඳතා යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ සේවයට අගය කර තිබිණි.
'වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හොඳ ම හෙලිකොප්ටර් නියමුවන් අතරට එක්වූ අතර, ඔහුගේ වෘත්තීයභාවය, ධෛර්යය සහ රාජකාරිය කෙරෙහි ඇති නොසැලෙන කැපවීම වෙනුවෙන් අතිශය ගෞරවයට පාත්‍ර විය. කීර්තිමත් විසි වසරක වෘත්තීය ජීවිතය තුළ, ඔහු බෙල් 412, බෙල් 212, එම්අයි -17 සහ ජෙට් රේන්ජර් ගුවන් යානාවල පියාසර පැය තුන් දහසකට වඩා වාර්තා කරමින්, වී.වී.අයි.පී. කපිතාන් සහ මාස්ටර් ග්‍රීන් ශ්‍රේණිගත නියමුවෙකු ලෙස සේවය කළේ ය.
ජාතික ආරක්ෂාව සහ මානුෂීය මෙහෙයුම් සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන්, වින්ග් කමාන්ඩර් සියඹලාපිටිය නැගෙනහිර මානුෂීය පදක්කම, උතුරු මානුෂීය පදක්කම, විදේශ සේවා පදක්කම සහ එක්සත් ජාතීන්ගේ පදක්කම - දකුණු සුඩානය යන සම්මානවලින් පිදුම් ලැබී ය.'
පෞද්ගලික තොරතුරු
1984 පෙබරවාරි 22 වන දා වෙන්නප්පුව ප්‍රදේශයේදී උපත ලබා ඇති ඔහු, වෙන්නප්පුව ජෝසෆ් වාස් මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
නිර්මාල් සියඹලාපිටිය වයස අවුරුදු 7ක දරුවෙකුගේ පියෙකු විය.
ඔහු පදිංචිව සිටියේ, රත්මලාන ප්‍රදේශයේ ය.
නිර්මාල් සියඹලාපිටියගේ මරණය ගැන විමර්ශන කිහිපයක් පවත්වන්නැයි අධිකරණයෙන් නියෝග
මේ අතර, අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට ගුවනින් සහන සලසමින් සිටි ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් වෙන්නප්පුව පොලිස් වසමේ ඔයකට කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 8 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් දිනිඳු සමරසිංහ වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලිණ හෙට්ටිආරච්චිට අද (දෙසැ: 01) නියෝග කළේ ය.
ඊට අමතරව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් කාර්මික දෝෂයකට ලක්ව අනතුරට පත්ව කඩා වැටීමෙන් මිය ගිය එම හෙලිකොප්ටර් යානයේ ප්‍රධාන නියමුවා ලෙස යානය පියාසර කරවමින් සිටි වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටියගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෘත දේහය ඔහුගේ පවුලේ ඥාතීන්ට භාර දෙන ලෙසට මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් ප්‍රධාන ගුවන් නියමු 41 හැවිරිදි වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටියගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව මරණයට හේතු සහිතව අධිකරණයට හමුවට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේ ය.
මේ අතර, මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් වෙනම ම තවත් විමර්ශනයක් සිදු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා ගුවන් හමුදාපතිවරයාට ද නියෝග කළේ ය.














