'මීටර් 100න් 200න් හැම තැන ම නාය ගිහිල්ලා': දැවැන්ත ස්වභාවික ආපදාවකදී වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන් මුහුණදුන් අත්දැකීම්

- Author, බීබීසී සිංහල
සතියකට ආසන්න කාලයක් පුරා පැවති දරුණු කාලගුණ තත්ත්වය හමුවේ එම සිදුවීම් වාර්තාකරණයේ නියැලුණු මාධ්‍යවේදීන්ට ද දැඩි අසීරුතාවන්ට මුහුණ දීමට සිදුව තිබිණි.
විශේෂයෙන් ම මාර්ග අවහිරතා, දුරකතන සහ විදුලි සම්බන්ධතා ඇණ හිටීම් වැනි විශාල දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් ඔවුහු මෙම දින කිහිපයේ වාර්තාකරණයේ නිරත වූහ.
මාර්ග අවහිරතා හේතුවෙන් බොහෝ දෙනෙකු කිසිදු ප්‍රවාහන පහසුකමක් නොමැතිව පා ගමනින් අදාළ ස්ථාන වෙත ළඟා වී තිබිණි.
ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වන විරාජ් ප්‍රනාන්දු බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේ තල්දෙන ප්‍රදේශයේ සිදුවූ නායයාමක් වාර්තා කිරීම සඳහා ඔහුට සැලකිය යුතු දුරක් පා ගමනින් යාමට සිදුවූ බව ය.
'මීටර් දෙසීයක් විතර යනකල් සම්පූර්ණයෙන් පාර වැහිලා පස් වැටිලා'

ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වන විරාජ් ප්‍රනාන්දු ඔහුගේ ඥාතියෙකු සොයා බදුල්ල සිට මහියංගණය දෙසට යමින් සිට ඇති අතර, එහිදී ඔහුට තල්දෙන ප්‍රදේශයේ සිදුවූ නායයාම සම්බන්ධයෙන් දැන ගැනීමට ලැබී තිබේ.
ඔහු පැවසුවේ, ඒ වන විටත් දුරකතන සහ විදුලි සම්බන්ධතා බිඳ වැටී බදුල්ල නගරය හුදෙකලා වී තිබූ බව ය.
"පහුගිය දින කිහිපයේ ඇති වෙච්ච වැස්සත් එක්ක ඒ දින කිහිපය පුරා ම බදුල්ල නගරය හුදෙකලා වුණා. විදුලිය බිඳවැටිලා දුරකථන සම්බන්ධතා බිඳවැටිලා පාරවල් ඔක්කොම බ්ලොක් වෙලා තිබුණා. එදා තමයි නායයාම් වැඩි වශයෙන් සිද්ධ වුණේ. මහියංගණයේ සිට මාව හම්බ වෙන්න ආව මගේ ඥාතියෙක් දවස් දෙකක් තිස්සේ අතුරුදන් වෙලා හිටියා. මට ඊට පස්සේ ආරංචියක් ආවා ඒගොල්ලෝ තල්දෙන කියන ප්‍රදේශයේ හිරවෙලා ඉන්නවා කියලා," ඔහු පැවසුවේ ය.
"ඊට පස්සේ, පහුවෙනි දා මම එයාව හොයාගෙන ගියා, බදුල්ලේ ඉඳලා දුන්හිඳට උඩින් සොරණාතොට කියන තැන ඉඳලා මහියංගණය පාරේ පටන් ගන්න තියෙන තැන ඉඳලා ම බදුල්ල ටවුන් එකේ ඉඳලා ප්‍රපාතයක් බහින්න තියෙන්නේ. රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ළඟ ඉඳලා කිලෝමීටරයක් වගේ පාර හොඳට තිබුණා. එතනින් එහාට මීටර් 100න් 200න් තැනින් තැනට හැම තැන ම නාය ගිහිල්ලා."
නාය ගොස් ඇති සෑම තැනක ම පාහේ එම ස්ථානවලින් පිටව යාමට නොහැකිව සිරව සිටින බොහෝ පිරිසක් සිටින බව ඔහු පවසයි.
"ඒ හැම නායයාම් දෙකක් අතර ම, අතරමැද හිරවුණු මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා. මිනිස්සු විතරක් නෙමෙයි වාහනත් තියෙනවා. පාර සුද්ද කරන්න බැකෝ යන්ත්‍ර පහක් විතර ඇවිල්ල තිබුණා, නමුත් ඒ ප්‍රමාණය මදි," ඔහු පැවසුවේ ය.
"එතකොට මම මගේ ඥාතියා හොයාගෙන දිගට ම ගමන් කළා ඒ යනකොට ඇළවල්වලට බැහැලා ආපහු පාරට එනවා, ආපහු ඇළට බහිනවා. ඒ විදියට තමා දිගට ම යන්න වුණේ, මොක ද දිගට ම නාය ගිහිල්ලා නිසා. ඒ විදිහට මම කිලෝමීටර් දොළහක් විතර ගියා. බයිසිකලේ යන්න පුළුවන් ප්‍රමාණය ගිහිල්ලා ඒක මග දාලා ගියේ."
මාර්ගයේ සැලකිය යුතු ප්‍රමාණයක් පස්වලින් යටවී තිබූ බව ඔහු සඳහන් කළේ ය.
"සමහර තැන්වල මීටර් දෙසීයක් විතර යනකන් සම්පූර්ණයෙන් පාර වැහිලා පස් වැටිලා."
'සොරණාතොට ප්‍රාදේශීය ලේකම්වරිය දවසක් ම හිරවෙලා'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔහු පා ගමනින් ම ඉදිරියට යන අතරතුර ඔහුට සොරණාතොට ප්‍රාදේශීය ලේකම්වරිය මුණ ගැසී ඇති අතර, ඇය තල්දෙන ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන් සිරවූවන් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීමට ගිය අවස්ථාවේදී අතරමග කොටුවී තිබිණි.
"මම යන අතරමග මට සොරණාතොට ප්‍රාදේශීය ලේකම්වරිය හම්බවුණා. එතකොට ඇය කිව්වා කලින් දවසේ තල්දෙන කියන ප්‍රදේශයේ එක ම පවුලේ අම්මයි, තාත්තයි දුවයි නායයාමකින් මැරුණා කියලා. එයාලව බලන්න ප්‍රාදේශීය ලේකම්වරිය ගිහිල්ලා තියෙනවා. ඒ එනකොට ඇයගේ වාහනයත් මඩේ එරිලා," විරාජ් විස්තර කළේ ය.
"ඊට පස්සේ එයා එක රැයක් එහෙම්ම ම ඉඳලා දෙවෙනි දවසේ හැරමිටියකුත් ගහගෙන මග එනවා පයින්. ඊට පස්සේ එයා කිව්වා මිනී දෙකක් ගොඩගත්තා ඒ දෙක ගොඩ අරගෙන පාර අයිනෙ මඩුවක තියලා තියෙනවා, නමුත් එක මිනියක් ගොඩ ගන්න බෑ කියලා. ඊට පස්සේ මම එතනට යන්න පිටත් වුණා. සපත්තු දාගෙන හිටියත් දණහිසට විතර වෙනකම් මඩේ එරිලා ගියේ," ඔහු පැවසුවේ ය.
"එක පැත්තකින් අවදානමකුත් තිබුණා මොක ද මම ගියේ තනියම නිසා. ඊට පස්සේ මම නැවත ටවුන් එකට ඇවිල්ලා මගේ ගෙදර අයට දැනුම් දුන්නා, මම මෙහෙම මේ ස්ථානය බලන්න යනවා, මම එනකම් මගේ දුරකතනය වැඩ කරන එකක් නෑ කියලා. ඒ දැනුම් දීල මම නැවතත් යන්න පිටත් වුණා."
නායයාම් සිදුවී නොමැති ස්ථානවල වාහන නවත්වා තිබූ බව ඔහු පැවසුවේ ය.
"තැන් තැන්වල තියෙනවා ක්ෂේම භූමි වගේ තැන්. ඒ තැන්වල වාහන දහය පහළොව නවත්තලා තියෙනවා පාරමැද්දේ. සමහර ඒවගේ මිනිස්සු ඉන්නවා ඒ වගේ නතර වෙලා. සමහර මිනිස්සු මගුල් ගෙවල්වල ගිහිල්ලා ඒ ඇඳන් ඉන්න ඇඳුම පිටින් ම ඉන්නවා වාහනවලට වෙලා යන්න විදිහක් නැතුව."
"ඒ වගේ ම සමහර තැන්වල වාහන හතළිහ පණහ නවත්වලා තියෙනවා පාර මැද නමුත් ඩ්‍රයිවර්ලා නැහැ. දැන් මේ පාර සුද්ද කරගෙන ගියත් මේ වාහන ඉවත් කරන්න විදියක් නැති ප්‍රශ්නෙත් තියෙනවා."
මේ වන විට මාර්ගවල සිරවී සිටින ජනතාවට ප්‍රදේශවාසී ජනතාව ආහාර ලබා දෙන අඩු සැපයුම් හමුවේ ආහාර ලබා දීම දුෂ්කරවී ඇති බව විරාජ් පැවසුවේ ය.
"ඒ වගේ ම, මේ පාරවල්වල වාහන නවත්තන් ඉන්න මිනිස්සු කොටුවෙලා ඉන්න මිනිස්සුන්ට ගම්වල මිනිස්සු කන්න දෙනවා. නමුත් ඒ ගම්වල කඩවල්වලත් බඩු නැහැ. ඒ මිනිස්සුන්ටත් කන්න දෙන්න බඩු නෑ. ඒ මිනිස්සු කියනවා කන්න නොදී බෑ නමුත් අපිට දෙන්න බඩුත් නෑ කියලා."
"මම අර නායයාම සිද්ධ වෙච්ච ස්ථානයට යනකොටත් ඒ මිනී තිබුණා එතන. ඒ මළ සිරුරු නරක් වෙනකම් ම එතන. මොක ද ඒවා ප්‍රවාහනය කරන්නවත් කොහෙටවත් ගෙනියන්න විදිහක් තිබුණෙ නෑ."
'අලවතුගොඩ අතුරුදන් වූ පිරිස් අතර ගොඩක් ඉන්නවා කුඩා දරුවන්'
මහනුවර ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වන දිනේෂ් චානුක මෙත්තානන්ද ද ඊයේ දිනයේ අලවතුගොඩ ප්‍රදේශයේ සිදුවූ නායයාම වාර්තා කිරීමට ගොස් තිබුණේ, දැඩි බාධා මධ්‍යයේ ය.
"ඊයේ පාන්දර දොළහයි තිහට විතර අලවතුගොඩ, රඹුක්ඔය ගම්මානයේ නායයාමක් සිදු වෙලා තිබුණා. අපිට ඒක ආරංචි වුණාට පස්සේ අපි යන්න පිටත් වුණත් එතනට යන්න සුදුසු පාරවල් තිබුණේ නෑ," චානුක පැවසුවේ ය.
"තිබුණ කෙටි ම පාරවල්වලින් ගියත් අපට ළඟා වෙන්න හරි ම අමාරු වුණා. හැම තැන ම ගස් වැටිලා, කඳු නාය ගිහිල්ලා, ටෙලිෆෝන් කණු කඩාගෙන වැටිලා, ලයිට් කණු කඩන් වැටිලා.
අලවතුගොඩ නගරයේ සිට ඔවුන් අදාළ ස්ථානය දක්වා පයින් ගමන් කර තිබිණි.
"අලවතුගොඩ ටවුන් එකේ ඉඳලා අදාළ ස්ථානයට කිලෝමීටර් අටක් තිබුණා. වාහනවලින් යන්න බෑ. අඩු ම ගාණේ මෝටර් සයිකල් එකකින් වත් යන්න බෑ. මමත් තව දෙන්නෙකුත් අධික වර්ෂාව මැද්දේ වැස්ස බලන්නේ නැතුව පයින් ම ඒ කිලෝමීටර් අට ගියා," ඔහු විස්තර කළේ ය.
"අපි එතනට යනකොට මළ සිරුරු අටක් ගොඩගෙන තිබුණා. අපි දැක්ක විදිහට කිලෝ මීටර් දහයක් පහළොවක් විතර ප්‍රදේශයක් නාය ගිහින් තිබුණා. ජාති ආගම් කිසි දෙයක් සලකන්නේ නැතුව ප්‍රදේශයේ ජනතාව එතැනට ඇවිල්ලා හිටියා. යුද්ධ හමුදාවත් ඇවිත් හිටියා."
එම ස්ථානයට ළඟා වීමට ඔවුන්ට සැලකිය යුතු වේලාවක් ද ගතවී තිබිණි.
"අපි යන්න පිටත් වුණේ දවල් එකට විතර. ස්ථානයට යනකොට හවස පහ හමාර විතර වුණා."
"එතන මුස්ලිම් ගම්මානයක් ම තමයි ගිහිල්ලා තිබුණේ. බේරගන්න පුළුවන් අය හතර දෙනෙක්ව උදේ ගත්තා කිව්වා ඊට පස්සේ තව හතර දෙනෙක්ව ගත්තා කිව්වා."
නායයාමක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයට අනතුරු අඟවා තිබී ඇති බවත්, මෙසේ නායගොස් ඇත්තේ අනතුරු අඟවා තිබූ ස්ථානයේ නොව ඊට මද දුරකින් පිහිටි ස්ථානයක් බවත් චානුක පැවසුවේ ය.
"නාය අනතුරු ඇඟවීම් දීලා තිබුණ පැත්ත නෙමෙයි, එතනින් එහා පැත්තෙ කොටසක් තමයි නාය ගිහින් තිබුණේ. අනතුරු ඇඟවීම් කරලා තිබුණ පැත්තෙ ඉඳපු එක ගෙදරක අට දෙනෙක් මේ පැත්තට ඇවිල්ලා ඉඳලා තියෙනවා. එතකොට ඒ ගෙදර ඉඳපු දොළොස් දෙනා ම නායට අහුවෙලා ගිහිල්ලා තියෙනවා. ඒක හරි ම කනගාටුදායක දෙයක්," ඔහු පැවසුවේ ය.
"ඒ වගේ ම තවත් කනගාටුදායක දෙයක් තමයි අතුරුදන් වූ පිරිස් අතර ගොඩක් ඉන්නවා කුඩා දරුවන්. හතළිහක් පණහක් විතර අතුරුදන් කියලා කියන්නේ."
'ජීවිතයේ කවදාවත් ම මහවැලි ගඟේ මේ තරම් වතුර දැකලා නෑ'
මහනුවර ප්‍රදේශයේ පදිංචි චානුක පවසන්නේ, පසුගිය දින කිහිපයේ ඇති වූ ගංවතුර තත්ත්වය වැනි තත්ත්වයක් ඔහු මෙතෙක් එම ප්‍රදේශයේ අත්දැක නොමැති බව ය.
"මම ජීවිතයේ කවදාවත් ම මහවැලි ගඟේ මේ තරම් වතුර දැකලා නෑ," ඔහු පැවසුවේ ය.
"අපේ ගෙවල්වල වැඩිහිටියොත් කියනවා, එයාලගේ ජීවිත කාලෙ කවදාවත් එයාලා මේ තරම් වතුර ප්‍රමාණයක් දැකලා නෑ කියලා. පාලම්වලට පොළෝ මට්ටමේ ඉඳලා අඩි එකසිය පණහක් දෙසීයක් විතර තියෙනවා ඒ තරම් වතුර පිරිලා මහවැලි ගඟේ."














