ආපදා තත්ත්වය හමුවේ ආණ්ඩුව ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවා ද? ඇතැම් පාර්ශව සහ ජනතාව මැසිවිලි නගන්නේ ඇයි?

මහ වැසි සහ අධික සුළං තත්ත්වය හමුවේ ආපදාවට ලක්ව සිටින ඇතැම් පිරිස් වත්මන් රජයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මැසිවිලි නගති.
    • Author, බීබීසී සිංහල

මහ වැසි සහ අධික සුළං තත්ත්වය හමුවේ ආපදාවට ලක්ව සිටින ඇතැම් පිරිස් වත්මන් රජයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මැසිවිලි නගත��.

"ඉස්සර නම් හමුදාව එනවා, පොලිසිය එනවා. අද කවුරුවත් නෑ. ඩී.එස්. මහත්තයා (ප්‍රාදේශීය මහ ලේකම්) විතරයි ගමේ ඉන්නෙ. වෙන කවුරුවත් නෑ මේකෙ.බලන්නකෝ දුක් විඳින මිනිස්සු," කදුරුවෙල ප්‍රදේශයේ ආපදාවට ලක්වූවෙකු මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ එසේ ය.

මේ තවත් පුද්ගලයෙකු නැගූ චෝදනාවකි. "කවුරුවත් නෑ. අද තමයි පාන් බාගයක් දීල තියෙන්නෙ."

කෙසේ වෙතත්, කදුරුවෙල එම ස්ථානයේ ම සිටි තවත් පුද්ගලයෙකු පැවසුවේ, ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගෙන ඇති බව ය.

"ජනාධිපතිතුමා හොඳට ම පැහැදිලි කරල කියල තියෙන්නෙ, කොළඹ කොහෙ යට වෙලා තිබුණත්, සල්ලි පාස් කරනවා. වතුර ගොඩ වුණා කියල ඒ වෙලාවෙ ම සල්ලි දෙන්න බෑනෙ. මුළු ලංකාව ම යට වෙලා තියෙනකොට කවුද බලන්නෙ මේක? මේ බොරු චෝදනා කරන්නෙ. මම ජේවීපීකාරයෙක් නෙවෙයි. ගමේ පුද්ගලයෙක් තමයි."

ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම

ඡායාරූප මූලාශ්‍රය, PMD

ඡායාරූප ශීර්ෂ වැකිය, ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම

'මේ මහ පොළොවේ සිදුවෙමින් තිබෙන්නේ කුමක් ද?

මේ අතර, යුද්ධ හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරල් චාගී ගාල්ලගේ ෆේස්බුක්හි සටහනක් තබමින් රජයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කණස්සල්ල පළ කර තිබිණි.

උපුටා දැක්වීම -

'මේ මහ පොළොවේ සිදුවෙමින් තිබෙන්නේ කුමක් ද?

ප්‍රධාන රාජ්‍ය ආයතන අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර මෙම ව්‍යසනය කළමනාකරණය කිරීම සඳහා පැය 24 පුරා ම කටයුතු කළ යුතු මේ ආණ්ඩුව, සති අන්තයේ නිහඬ වසා දැමීමකින් ලිස්සා යාමට උත්සහ කරනවා ද?'

උපුටා දැක්වීම අවසන් (සිංහල පරිවර්තනය)

චාගී ගාල්ලගේගේ ෆේස්බුක් සටහන

ඡායාරූප මූලාශ්‍රය, Facebook

මේ අතර, ආණ්ඩුව ආපදා කළමනාකරණය සඳහා නිසි පියවර නොගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ තවත් සටහන් පළ කර තිබිණි.

'ආපදාවක දී රජයක් විසින් සිදු කළ හැකි ලොකු ම අමන මරිමෝඩ තීරණය ප්‍රකාශයට පත් කර ඇත.

රාජ්‍යය වසා ඇත. නිලධාරීන්ට නිවාඩු දී ඇත.

පාලකයෙකු ලෙස ද, නිලධාරියෙකු ලෙස ද, මාගේ අත්දැකීම නම් රාජ්‍යය කිසිදා අකර්මන්‍ය නොකළ යුතු බවකි.

දැන් හෙට ලක්ෂ 5 කට වැඩි රාජ්‍ය සේවකයින්ට නිවාඩුය.

අත්‍යවශ්‍ය සේවා ගැසට් එක තවමත් අච්චු ගසා නැත.

රාජ්‍ය සේවයේ කිසිම එකෙක් තමන් අත්‍යවශ්‍ය ද නැති ද යන්නේ නැත.

රෝහල්වලට අතුලත් කරන ලෙඩ්ඩු මිය යමින් සිටින්නේ අත්‍යවශ්‍ය ඖෂධ නැතිවය.‍ ගෝස්, බැන්ඩේජ්, එන්සියුලීන් නැතිවය.

පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට පුද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීමට තවමත් බලය දී නැත.

ප්‍රාදේශීය ලේකම්වරුන්ට හාල් පිටි පරිප්පු ගන්නට මුදල් ‍නිදහස් කර නැත.

ඇත්තට ම මේ වන විට රටේ රාජ්‍යයක් නැත.

ආසියාවේ ප්‍රමුඛතම රාජ්‍ය සේවය මෙවැනි අගාධයකට දමා ඇත්තේ ඇයි?' යනුවෙන් රජිත් කීර්ති තෙන්නකෝන් සටහනක් තබා තිබිණි.

'කොළඹ සාකච්ඡාවලින් සාර්ථක වෙන්නෙ නෑ' - නාමල් රාජපක්ෂ

මේ අතර, 'නිලධාරීන්ට හිතේ බයක් නැතිව අවස්ථාවට අනුකූලව තීන්දු තීරණ ගන්න නිදහස දිය යුතු' බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ ඔහු ප්‍රකාශ කළේ, "කොළඹ සාකච්ඡා කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී දැනුවත් කරලා කියන කාරණය එතරම් සාර්ථක නොවන" බව ය.

"පැහැදිලිව ම ආණ්ඩුව මේ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකට කොළඹ සාකච්ඡා කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී දැනුවත් කරලා කියන කාරණය එතරම් සාර්ථක වෙන්නේ නැහැ. මොක ද විශේෂයෙන් ගම් මට්ටමේ ජනතාව විශාල වශයෙන් අපහසුතාවට පත්වෙලා තියෙනවා. ඒ වගේ ම තමයි නිලධාරීන්ට හිතේ බයක් නැතිව අවස්ථාවට අනුකූලව තීන්දු තීරණ ගන්න නිදහස දෙන්න ඕන. ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ පනතට අනුකූලව ගිහින් ඒ නිලධාරීන්ට චක්‍රලේඛයෙන් එලියට ගිහින් හරි ජනතාවගේ වැඩ කරන්න ඉඩ දෙන්න ඕන. එහෙම නැතිව පවතින චක්‍රලේඛ අනුව කටයුතු කරන්න ගිහින් මේ තත්ත්වයට මැදිහත් වෙන්න අපහසුවක් තියෙනවා කියලා පෙනෙනවා."

'එක පුද්ගලයෙක් වෙනුවෙන් රු. 100ක් දැනට වෙන් කරලා තියෙනවා'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ අද (නොවැ: 28) පැවැත්වූ මාධ්‍ය හමුවේදී අතිරේක ආරක්ෂක ලේකම්වරයෙකු පහත කරුණු ඉදිරිපත් කළේ ය.

"ආපදා කාලපරිච්ඡේදය ආරම්භ වෙන්නේ, මේ මාසයේ 21 සිට මේ විශේෂ ආපදා කාලපරිච්ඡේදය සටහන් තබනවා. දිස්ත්‍රික්ක 25ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 285ක පවුල් 44,191ක පුද්ගලයින් 148,603ක් බලපෑමට ලක්ව තිබෙනවා. සුරක්ෂිත මධ්‍යස්ථාන 195කට පවුල් 5,024ක් ළඟා වෙලා තියෙනවා. පැමිණි පුද්ගලයින් සංඛ්‍යාව 14,766යි.

සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත පැමිණි ජනතාවට අපි ආහාර වේල් තුනක් ලබා දීමට කටයුතු කරනවා. ගැබිනි මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට සහ ළදරුවන්ට අපි කිරි වේල් දෙකක් ලබා දෙනවා. අනෙකුත් වැඩිහිටියන්ට අපි තේ වේල් දෙකක් ලබා දෙනවා.

මේ සුරක්ෂිත මධ්‍යස්ථානවලට එන්න බැරි, කොටු වෙලා ඉන්න අයටත් අපේ චක්‍රලේඛ අනුව කන්න දෙන්න පුළුවන්. ඕනෙ ම කෙනෙක්ට තමන්ගේ ජීවනෝපාය කරගන්න බැරිවුණා ම මේ චක්‍රලේඛවලින් අපි උපදෙස් දීලා තියෙනවා පිසූ ආහාර ලබා දෙන්න, පිසූ ආහාර දෙන්න බැරි තැන්වල අපි වියළි ආහාර ලබා දෙන්න කියලා.

සෞඛ්‍ය සම්පන්නව කටයුතු කිරීමට එක් පුද්ගලයෙක් වෙනුවෙන් රු. 100ක් දැනට වෙන් කරලා තියෙනවා. අපට ජනාධිපතිතුමා උපදෙස් දුන්නා අවශ්‍යතාව පරිදි, මේ මුදල් නොසලකා වැඩි ප්‍රමාණයක් වුණත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තීරණයක් අරගෙන, ඕනෑ ම චක්‍රලේඛයකට එහා යන වියදමක් වුණත් කරන්න කියලා.

විනාශයට පත්වෙන එක නිවසක් වෙනුවෙන් රු. ලක්ෂ 25ක් වෙන් කරනවා. පූර්ණ වශයෙන් හානි වූ නිවාස 42ට ලක්ෂ 25 බැගින් දෙනවා. අර්ධ වශයෙන් හානි වූ නිවාසවලට ඒ හානි ප්‍රතිපූර්ණය කරනවා. "

මේ අතර, කැබින���් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, ආපදාවන්ට ලක්වූවන් වෙනුවෙන් සියලු දිස්ත්‍රික් ලේකම්වර���න්ට මුදල් ප්‍රතිපාදන සැපයීමට සූදානම් කර ඇති බව ය.

ආණ්ඩුව මෙතෙක් ගත් පියවර මොනවා ද?

මේ අතර, කොළඹදී පැවති රැස්වීමකදී ජනාධිපති අනුර කුමාර දිසානායක දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේ, විපතට පත් ජනතාව මුදා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට මුදල් බාධාවක් කර නොගන්නා ලෙස ය.

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ උපදෙස් ලබා දුන්නේ ය.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, ආපදා සහන සේවා කටයුතු සඳහා රුපියල් බිලියන 1.2 ක මුදලක් වෙන් කර ඇති බව ය.

මුදල් වැය කිරීමේදී චක්‍රලේඛවලින් ඇති වන බාධාවන් වළක්වා ගැනීම සඳහා නව චක්‍රලේඛයක් වහා ම නිකුත් කරන ලෙසත් මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය.

මේ අතර, අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වයන් හේතුවෙන් මිය ගිය එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් පිරිනැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති අරමුදලට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

මේ අතර, අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට අද (28) දිනයේ නිවාඩු ලබා දීමට තීරණය කළේ ය.

මේ අතර, ආපදා තත්ත්වයකදී ප්‍රාදේශීය ලේකම්වරයෙකුට වැය කළ හැකි මුදල රු. මිලියන 50ක් දක්වා ඉහළ දමා තිබේ.

මේ වන විට පවතින ආපදා තත්ත්වය යටතේ පීඩාවට පත්වී සිටින ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයෙකුට රු. මිලියන 50ක් දක්වා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු කඩිනමින් සිදු කිරීමට හැකි බව ප්‍රසම්පාදන කමිටුව මුදල් අමාත්‍යංශයට දන්වා ඇත.

ඒ අනුව, ප්‍රාදේශීය ලේකම්වරුන්ට රු. මිලියන 50ක් දක්වා වැය කිරීමට හැකි වන පරිදි මූල්‍ය බලතල ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම දැනුම් දී තිබේ.

ඊට අමතරව, ආපදාවට පත්වී සිටින ජනතාවට සහන සැලසීම සඳහා තවදුරටත් දැරිය යුතු වියදම් තිබේ නම්, දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු සිදු කර, අවශ්‍ය ප්‍රතිපාදන ගැලපීම සඳහා අපදා කළමනාකරණ අංශය හරහා භාණ්ඩාගාර ලේකම්වරයා සම්බන්ධ කර ගන්නා ලෙස ද එම ලිපියෙන් දැනුම් දී ඇත.

මේ අතර, අද පැවති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ, ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට පියවර ගෙන ඇති බව ය.

ආපදාවන්ට මුහුණ දී සිටින්නන් මුදා ගැනීම සඳහා ජාත්‍යන්තර සහය ලබා ගන්නා බව ද ඇය සඳහන් කළා ය.

කොළඹ ගංවතුරට මුහුණ දෙන්න රජයේ වැඩපිළිවෙළ කුමක් ද?

මේ වන විට කොළඹට ගංවතුර අවදානම් නිවේදනයක් නිකුත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් රජයේ වැඩපිළිවෙළ කුමක් ද? යන්න බිබීසී සිංහල විසින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍රගෙන් විමසා සිටියේ ය.

"කැලණි ගඟ ආශ්‍රිතව ඉන්න ජනතාව ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක වෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඊට අමතරව, අවතැන් වන ජනතාවට රැඳෙන්න ස්ථාන නම් කරලා ඒවාට ඔවුන්ව ගෙන්වගෙන, ඉදිරි දවස් කිහිපය තුළ ආහාර සැපයීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කරලා තියෙන්නේ," ඇය පැවසීය.

එලෙස ජනතාවට අරක්ෂිතව රැඳී සිටීමට ඇති ස්ථාන මොනවා ද? යන්න පිළිබඳව එහිදී මන්ත්‍රීවරියගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇමතීමෙන් එම විස්තර ලබා ගත හැකි බව ඇය පැවසීය.

"බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් වැනි ප්‍රදේශවල ජනතාව ඉවත් විය යුතු යි. ඒ අයට ලොකු අවදානමක් තියෙනවා. ඒ නිසා ඒ අය ඉන්න ප්‍රදේශවලින් ඉවත් වෙන්න කියලා අපි ඉල්ලනවා."

"දේපළ ආරක්ෂාව ගැන හිතලා ජනතාව ගෙවල්වලින් යන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් දැන් හමුදාව සහ පොලිසිය සම්බන්ධ කරගෙන ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කරමින් ඉන්නේ."

ඇතැම් සුරක්ෂා මධ්‍යස්ථාන වෙත යාමට ජනතාවට ප්‍රවාහන පහසුකම් සපයන බව ද මන්ත්‍රීවරිය සඳහන් කළා ය.