රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ: හදිසි අවස්ථා තත්ත්වයක් යනු කුමක් ද?

අනුර කුමාර දිසානායක

ඡායාරූප මූලාශ්‍රය, PMD

    • Author, බීබීසී සිංහල

මුළු දිවයිනට බලපැවැත්වෙන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා පවසයි.

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔහු ඒ බව තහවුරු කළේ ය.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

හදිසි අවස්ථා තත්ත්වය යනු කුමක්ද ?

හදිසි තත්ත්වයක් යනු ජන ජීවිතයේ සුවිශේෂී තර්ජනයක්, අනතුරක් හෝ ව්‍යසනයක් ඇති වන අවස්ථාවක, රටේ පැවැත්ම පවත්වාගෙන යාමට, තර්ජනයට මුහුණ දීම සඳහා සාමාන්‍ය කාලවලදී රජයට අවසර නොදෙන ඇතැම් මූලික අයිතිවාසිකම් සීමා කිරීමේ බලතල ඇතුළුව අසාමාන්‍ය බලතල ලබා දීමේ අවස්ථාවකි.ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හදිසි තත්ත්වයක් පිළිබඳ විධිමත් නිර්වචනයක් සපයා නැතත්,ඒ වෙනුවට හදිසි බලතල අවශ්‍ය වීමට ���ේතු විය හැකි කොන්දේසි මහජන ආරක්ෂක ආඥාපනතෙහි විස්තර කෙරේ.

ජනාධිපතිවරයා විසින් හදිසි තත්වයක් පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කළ හැකි අතර එහිදී, "මහජන හදිසි තත්වයක් පැවතීම හෝ අත්‍යාසන්න බව සැලකිල්ලට ගනිමින්, "මහජන ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරීම හෝ ප්‍රජාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් සහ සේවා පවත්වාගෙන යාම සඳහා එසේ කිරීම සුදුසු බව ඔහු අදහස් කරන විට" හදිසි තත්වයක් පිළිබඳ ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ හැකිය.

එබැවින් මෙය,

හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව සලසන කොන්දේසි පිළිබඳ සාමාන්‍ය විස්තරයකි.

අරමුණු - ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවා නඩත්තු කිරීම, පවත්වා ගෙන යාම සහතික කිරිමකි.

හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ බලය ලැබෙන්නේ කෙසේ ද? එම තත්ත්වය ප්‍රකාශයට පත්කළ හැක්කේ කාට ද?

නිවේදනයක් මඟින් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ තනිකර වූ අභිමතානුසාරී බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා සතු ව පවතී.

එම නිවේදනය පාර්ලිමේන්තුව වෙත සන්නිවේදනය කළ යුතු වන අතර ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවීම ද කළ යුතුවේ. දින දා හතරක් ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු වේ.

හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම අධිකරණයකදී අභියෝගයට ලක් කළ නොහැකි වේ. ජනාධිපතිවරයාට හදිසි අවස්ථා රෙගුලාසි සකස් කිරීමට ඇති බලය ඇතුළු මහජන ආරක්ෂක පනතේ ප්‍රතිපාදනයන් ක්‍රියාත්මක බවට පත්වීම හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම මඟින් සිදුවේ. මෙම රෙගුලාසි මඟින් අනෙක් ඕනෑම නීතියක් අක්‍රීය කළ හැකිවන නමුදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අක්‍රීය කිරීමට ඒවාට නොහැකි වේ.

හදිසි අවස්ථා තත්ත්වයක් කොපමණ කාලයක් පැවතිය හැකි ද ?

මාසයක කාලයක් වලංගු වන නිවේදනයක් නිකුත්කිරීමට ජනාධිපතිවරයාට හැකි ය. (මාසයක් ගතවීමට පෙර එය අවලංගු කිරීමට ඔහුට හැකි වන නමුත්).

හදිසි නීතිය ප්‍රකාශයට පත්කර දින දා හතරක් ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුව අනුමත කළ යුතු වේ.

එසේ සිදු නොවුවහොත් නිවේදනය අවලංගු වේ. සෑම දින 30කට වරක් හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කළ හැකි ය. නමුත් එසේ කළ හැක්කේ පාර්ලිමේන්තුවේ අනුමැතියෙනි.

පුරවැසි අයිතිවාසිකම් කෙරෙහි හදිසි අවස්ථා රෙගුලාසිවලින් ඇති වන බලපෑම් මොනවා ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කරන ලද ඇතැම් මූලික අයිතිවාසිකම් සහ අනෙක් නීතීන් වලින් පැන නගින අයිතීන් ගණනාවක් වෙත හදිසි අවස්ථා රෙගුලාසි මඟින් සීමා කිරීම් පැනවෙයි.

එම සීමාවන් එමඟින් වැලැක්වීමට බලාපොරොත්තු වන හානියට සමානුපාතික විය යුතු බවට කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අවශ්‍යතාවයක් නොපවතී. එහිදී වගකිවයුතු ලෙස ක්‍රියා කිරීම සම්පූර්ණයෙන්ම විධායකයේ හොඳ හිත මත පවතින්නකි.

සීමා කරනු ලැබිය හැකි මූලික අයිතිවාසිකම් වනුයේ,

  • නිර්දෝෂී බවට වන පූර්ව නිගමනය
  • ඔප්පු කිරීමේ භාරය හා ප්‍රතිරෝධනීය දණ්ඩනය
  • නීතිය ඉදිරියෙහි සමානාත්මතාවය සහ වෙනස්කම් නොකිරීම
  • අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සඳහා වන සාමාන්‍ය නෛතික ක්‍රියාවලිය
  • අදහස් ප්‍රකාශනයේ, රැස්වීමේ, සමාගම් පැවැත්වීමේ, ගමන් කිරීමේ,රැකියාවේ, ආගමේ සංස්කෘතියේ සහ භාෂාවේ නිදහස කෙරෙහි අදාළ වන මූලික අයිතිවාසිකම්

හදිසි අවස්ථා රෙගුලාසි මඟින් සීමා කළ නොහැක්කේ,

  • සිතීමේ සහ සහෘද සාක්ෂිය නිදහස
  • වධහිංසා පැමිණවීමෙන් නිදහස
  • නිසි බලතල සහිත අධිකරණයක් මඟින් සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය (හදිසි අවස්ථා රෙගුලාසි මඟින් පමුණුවනු ලැබිය හැකි නඩු විභාගයට පෙර රඳවා තබා ගැනීම හැරුණු විට )

හදිසි අවස්ථා බලතල වලින් ස්වායත්ත ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) උපයෝගී කොට ගැනීමේ හැකියාව රජය වෙත පවතී. මෙම ත්‍රස්ත විරෝධී බලතල ව්ස්තෘත (පුළුල් ලෙස පැතිරි යා හැකි) වන අතර හදිසි අවස්ථා බලතල මෙන් අඛණ්ඩ ලෙස පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමේ විධිමත් අවශ්‍යතාවයක් ද එම බලතල භාවිතයේදි නොපවතී.

හදිසි අවස්ථාව සාමාන්‍ය පුරවැසියන්ට බලපාන්නේ කෙසේ ද?

ත්‍රස්තවාදී හෝ කලහකාරී ක්‍රියාවන්ට සම්බන්ධ වූවන් හෝ සැකකරුවන් නොවන සාමාන්‍ය පුරවැසියන්ගේ එදිනෙදා ජීවිතය, මෙම හදිසි අවස්ථා රෙගුලාසීන් බල පවත්වන විටදී ඒවායේ බලපෑමට ලක්වන ආකාරයන් ගණනාවක් පවතින් බවට නීති විශාරදයන් පෙන්වා දෙයි.

මාධ්‍ය වෙත ඇති කෙරෙන බලපෑම කුමක් ද?

පුරවැසියන්ට ප්‍රකාශයට පත්කළ හැකි දේ පිළිබඳව වන සීමා කිරීම්වලට අමතරව ප්‍රකාශනයන් පිළිබඳව වන පාලනය මගින් මාධ්‍ය වෙත බලපෑමක් ඇති විය හැකි ය.