නොදැවුණු මිත්‍රත්වය: 'ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන ශ්‍රී ලංකාවට ස්තුතියි' - පකිස්ථානය

ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සහ පකිස්ථාන නායක ෂහීන් අෆ්රිඩි අතට දී ආචාර කරමින්. පසුපසින් කුසලානය තබා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, PCB

    • Author, බීබීසී සිංහල

ආරක්ෂක හේතු මත පකිස්ථානයේ දැනට පැවැත��වෙන තරග සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම නැවත මෙරටට පැමිණීමේ සූදානමක් පවතින බවට බදාදා (නොවැ: 12) මාධ්‍ය වාර්තා පළ කර තිබිණි.

බීබීසී සිංහල සේවය ඒ පිළිබඳ කළ විමසීමකදී ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා කියා සිටියේ, පැවති තත්ත්වය සම්බන්ධයෙන් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ පකිස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නිලධාරීන් සමග සාකච්ඡා කළ බව ය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, අදාළ තරග සංචාරය සැලසුම් කර ඇති පරිදි පැවැත්වෙන බව ය.

ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කළ ඉල්ලීම

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේදී ජාතික ගීය වාදනය කරන අවස්ථාවේ සීරුවෙන් සිටි අවස්ථාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු උපුටා දක්වමින් නැවත ශ්‍රී ලංකාව බලා යාමට අවශ්‍ය බවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු විසින් කණ්ඩායමේ කළමනාකාරීත්වයට ඊයේ (නොවැ: 12) උදෑසන දැනුම් දී තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

මෙම තත්ත්වයත් සමග, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහා ම ක්‍රීඩකයින් සමග සම්බන්ධ වී පකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේ ම ආරක්ෂාව සහතික කිරීම සඳහා පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අදාළ බලධාරීන් සමග සම්බන්ධ වූ බවත්, ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති වීමට ඉඩ නොදෙන බවට සහතික වූ බවටත් දැනුම් දුන් බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙම තත්ත්වය තුළ, නියමිත පරිදි තරග සංචාරය අඛණ්ඩව කරගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලු ම ක්‍රීඩකයින්ට, සහායක කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයට උපදෙස් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේදී කුසල් මෙන්ඩිස් දැවී යාමෙන් පසු ක්‍රීඩාගාරය වෙත පිය නගන අයුරු. පසුපසින් පකිස්ථාන ක්‍රීඩකයින් හය දෙනෙක් සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

උපදෙස් නොතකන ක්‍රීඩකයින්ට කුමක් සිදුවෙයි ද?

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දුන් උපදෙස් නොතකා නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙන ක්‍රීඩකයින් හෝ සහයක කාර්ය මණ්ඩල සාමාජිකයින් පිළිබඳව ගන්නා තීරණය පිළිබඳව ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.

"සංචාරය දිගට ම කරගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නියෝගය නොතකා, යම් ක්‍රීඩකයෙකු සංචාරයෙන් ඉවත් වුවහොත් තරගාවලිය බාධාවකින් තොරව අඛණ්ඩව කරගෙන යාම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහා ම ආදේශක ක්‍රීඩකයින් පකිස්ථානයට යැවීමට කටයුතු කරන," බව එහි දැක්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝග නොතකා කිසියම් ක්‍රීඩකයෙකු හෝ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු නැවත මව්රට බලා පැමිණියහොත්, ඔවුන්ගේ ක්‍රියාව තක්සේරු කිරීම සඳහා විධිමත් සමාලෝචනයක් පවත්වනු ලබන අතර, සමාලෝචනය අවසානයේ සුදුසු තීරණයක් ගනු ලබන," බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන ආරක්ෂාව

මේ අතර, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස එක්වී සිටින රොෂාන් අබේසිංහ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ, පකිස්ථානයේදී තමන්ට සහ ක්‍රිකට් කණ්ඩායමට සපයා ඇති ආරක්ෂාව පිළිබඳව තමන් සෑහීමකට පත්වන බව ය.

"මට නම් ඇත්තට ම මේ තියෙන ආරක්ෂාව ගැන කිසි ම ගැටලුවක් නැහැ. අපිව හෝටලයේ ඉඳලා ක්‍රීඩාංගණය දක්වා එක්කන් යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක ම යි.

උපරිම ආරක්ෂාවක් ලබා දීලා තියෙනවා. පාරේ අනෙක් වාහන ගමන් කරන එක නතර කරලා තියෙන්නේ. ඒ වගේ ම මම දැක්කා අඩු ම තරමින් පාර දෙපැත්තේ වාහනයක්වත් නතර කරන්න දීලා නැහැ අපිව එක්කන් යද්දී වගේ ම ආපහු ක්‍රීඩාංගණයේ ඉඳලා හෝටලයට එක්කන් එනකොටත්.

මට කියන්න පුළුවන් මගේ පෞද්ගලික මතය අනුව මේ දීලා තියෙන ආරක්ෂාව ගැන මම සෑහීමකට පත්වෙනවා කියලා. අනිත් අය හිතන දේ ගැන මට මුකුත් අදහස් දැක්වීමක් කරන්න බැහැ." ඔහු පැවසුවේය.

තරගාවලිය අතහැර ආවා නම් කුමක් වෙයි ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකාව වෙනුවෙන් පකිස්ථානය පෙනී සිටි අවස්ථා රැසක් තිබේ.

ඉන් සුවිශේෂී අවස්ථාවක් වන්නේ, 1996 වසරේ ලෝක කුසලාන තරගාවලිය යි.

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය සම සත්කාරකත්වය දැක්වූ 1996 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පැවති යුදමය තත්ත්වය සහ කොළඹ සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එක්දින තරග ක්‍රීඩා කිරීමට නොපැමිණෙන බව දැනුම් දුන් අවස්ථාවේදී ඉන්දීය සහ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල එක්ව සුහද තරගයක් සඳහා දෙරටේ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මෙරටට එවී ය.

ඊට අමතරව, 1996 වසරේ පකිස්ථානයේදී පැවති ලෝක කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පකිස්ථාන ක්‍රිකට් ලෝලීන්ගෙන් ප්‍රබල සහයෝගයක් ලැබිණි.

මෙවන් සබඳතාවක් ගොඩනගාගෙන ඇති තත්ත්වයක් තුළ ඉස්ලාමාබාද් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමේ සිදුවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පකිස්ථාන තරග සංචාරය අත්හිටුවා නැවත පැමිණීමට තීරණය කළහොත් එයින් ලබා දෙන පණිවුඩය කුමක් වනු ඇත් දැයි ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"ඒක ලොකු අභියෝගයක් වනවා ශ්‍රී ලංකා රජයට වගේ ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට. මොක ද මේ රටවල් දෙක අතර තියෙන්නේ දිර්ඝ කාලීන බැඳීමක්. ඒකට මේ ගන්න තීරණයත් එක්ක යම් පළුදු වීමක් වෙන්න පුළුවන්කමක් තියෙනවා," ඔහු පැවසුවේ ය.

'ශ්‍රී ලංකාව ගත් තීරණයට කෘතඥ වෙමි' - පකිස්ථාන ක්‍රිකට් සභාපති

මේ අතර, X පණිවුඩයක් පළ කරමින් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොෂින් නක්වි සඳහන් කර ඇත්තේ, 'තරග සංචාරය දිගට ම කරගෙන යාමට ශ්‍රී ලංකා කණ්ඩායම ගත් තීරණය පිළිබඳව කෘතඥ වන' බව ය.

එම X පණිවුඩයේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.

'පකිස්ථා�� තරග සංචාරය දිගට ම කරගෙන යාමට ශ්‍රී ලංකා කණ්ඩායම ගත් තීරණය පිළිබඳව කෘතඥ වෙමි.

එය ක්‍රීඩාශීලීත්වයේ සහ සහයෝගීතාවයේ ජීව ගුණය දීප්තිමත්ව බැබළවීමකි.

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරග නොවැම්බර් 14 සහ 16 යන දිනවල රාවල්පින්ඩිහිදී පැවැත්වේ.'

'නොදැවුණු මිත්‍රත්වය'

මේ අතර, පකිස්ථානය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය තවදුරටත් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව තීරණය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් දැඩි ප්‍රසාදයක් පළ කර තිබිණි.

ඒ අනුව, 'FriendshipNotOut' යන හැෂ් ටැගය පකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතී.

'FriendshipNotOut' යන හැෂ් ටැගය භාවිත කරමින් පකිස්ථානයෙන් බිහිවූ විශිෂ්ට වේගපන්දු යවන්නෙකු වන ෂොයිබ් අක්තාර්, 'ක්‍රිකට් ක්‍රීඩාවෙන් ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායමට ස්තූතියි...' යනුවෙන් සටහනක් තබා තිබිණි.

'ජනතා විමුක්ති පෙරමුණේ කැරලි සමයේ, විශේෂයෙන් 1987 සිට 1990 දක්වා (ශ්‍රී ලංකාවේ) ප්‍රචණ්ඩ සිදුවීම් සහ බෝම්බ පිපිරීම් පැවති සමයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රියාත්මක වූ හැටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මතක ඇති,' යනුවෙන් පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ හිටපු සභාපති නජාම් සේති ලිවීය.

'ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ රජය ත්‍රස්තවාදීන්ට එරෙහිව ආරක්ෂාව සඳහා සංකේතයක් ලෙස ක්‍රිකට් භාවිත කිරීම සවිඥානික හා නිර්භීත තීරණයක්' බව ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි.

'පකිස්ථානය සහ එහි ක්‍රිකට් පාලක මණ්ඩලයට දැන් ඒ හැඟීම ම දැනෙනවා, ඒ නිසා ක්‍රිකට් දිගට ම කරගෙන යා යුතුයි,' යනුවෙන් ඔහු තවදුරටත් ලිවීය.

පකිස්ථාන කඩුලු රකින්නෙකු සහ පිතිකරුවෙකු වූ රෂීඩ් ලතීෆ්, දීර්ඝ සටහනක් තබමින්, පකිස්ථානය ශ්‍රී ලංකාවේ අතිශය දුර්වල ආරක්ෂක තත්ත්වයන් තිබියදීත් ක්‍රිකට් ක්‍රීඩා කළ කාලය සිහිපත් කළේ ය.

රෂීඩ් ලතීෆ් මෙසේ ලිවීය, 'අපි 1994 දී ටෙස්ට් තරග තුනක් සහ එක්දින තරග තුනක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට ගිය විට, ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් නොවී ය. දෙමළ කොටි සමග ගැටුම් කිහිපයක් ඇති විය. කොළඹ පැවති ටෙස්ට් තරග දෙකකට පසුව, පිපිරීමක් සිදු විය. නගරයේ ඇඳිරි නීතිය පනවන ලදී, එම නිසා තුන්වන ටෙස්ට් තරගය අවලංගු කරන ලදී. අහිතකර තත්ත්වයන් තිබියදීත්, පකිස්ථාන කණ්ඩායම කොළඹ රැඳී සිටි අතර, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ රජය ගත් තීරණය ක්‍රීඩකයින් විසින් ඉතා බැරෑරුම් ලෙස සලකනු ලැබීය.'

'අවලංගු කරන ලද ටෙස්ට් තරග වෙනුවට එක්දින තරග දෙකක් එකතු කරන ලද අතර, එය මුළු තරග පහක් බවට පත් කළේ ය. පකිස්ථානය ටෙස්ට් තරගාවලිය 0-2ක් සහ එක්දින තරගාවලිය 1-4ක් ලෙස ජයග්‍රහණය කළේ ය.'

'1996 ජනවාරි මාසයේදීනැවතත් සිවිල් යුද්ධයක් මෙන් බරපතළ බෝම්බ පිපිරීම්, මරාගෙන මැරෙන ප්‍රහාර සහ ඇඳිරි නීතිය සමගින් ශ්‍රී ලංකාවේ තත්ත්වය අයහපත් විය. 1996 ලෝක කුසලානය ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල පැවැත්වීමට නියමිතව තිබිණි. බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට යාම ප්‍රතික්ෂේප කළේ ය. එය දුෂ්කර කාලයක් වූ අතර, එම කාලය තුළ පකිස්ථානයට සහ ඉන්දියාවට ඒකාබද්ධ කණ්ඩායමක් පිහිටුවා කොළඹට යැවීමට සිදුවිය.'

'කණ්ඩායමට අසාරුදීන්, සචින් තෙන්ඩුල්කාර්, සයීඩ් අන්වර්, වසීම් අක්‍රම්, අනිල් කුම්බ්ලේ, රෂීඩ් ලතීෆ්, වකාර් යුනිස්, අජේ ජඩේජා, ඉජාස් අහමඩ් සහ ආමීර් සොහේල් ඇතුළත් විය. එවකට ඔවුන්ගේ අගමැති වූයේ (සිරිමාවෝ) බණ්ඩාරනායක ය. තරගයෙන් පසු නායක (අර්ජුන) රණතුංග කතාවක් පැවැත්වූ අතර, එහිදී ඔහු හැඟීම්බර වී කණ්ඩායම් දෙකට ම ස්තූති කළේ ය. ලාහෝර්හිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලෝක කුසලාන අවසන් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අතර බෙනාසීර් භූතෝ රණතුංගට කුසලානය ප්‍රදානය කළා ය.'

ශ්‍රී ලංකාව තරම් වෙනත් කිසිදු ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් පකිස්ථානය සමග මෙතරම් ස්ථිරව සිට නොමැති බව බරාම් කාසි නමැති පරිශීලකයෙක් සටහන් තබා තිබිණි.

'ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පකිස්ථාන සංචාරය දිගට ම කරගෙන යාමට ගත් තීරණය ක්‍රිකට් පිළිබඳ තීරණයක් පමණක් නොව, ජාතීන් දෙක අතර මිත්‍රත්වය සහ විශ්වාසය සම්බන්ධයෙන් අලංකාර රූපකයක්' බව ලරායිබ් නම් පරිශීලකයෙක් ලියා තිබිණි.

ඔහු තවදුරටත් මෙසේ ලිවී ය, 'මෙය සාමයේ ක්‍රීඩා පිටිය යි, එහිදී ත්‍රස්තවාදය සැමවිට ම දැවී යන අතර ආදරය කිසි විටක දැවී නොය යි.'

'ක්‍රීඩාවකට වඩා, මෙය ධෛර්යයේ, විශ්වාසයේ සහ මිත්‍රත්වයේ සංකේතයකි. ත්‍රස්තවාදය වෛරය පතුරුවන නමුත් ක්‍රිකට් හදවත් එක්සත් කරන බව ඔබ ලෝකයට පෙන්වා දී ඇත," තවත් පරිශීලකයෙක් ලිවීය.

'පකිස්ථානය ඔබේ ආශාව, නිර්භීතකම සහ ක්‍රීඩාවට ඇති ආදරයට උපහාර දක්වයි. මෙම මිත්‍රත්වයේ සහ ක්‍රීඩාශීලීත්වයේ බැඳීම සැමවිට ම පවතිනු ඇත.'

එක්දින තරගාවලියේ සහ තුන් කොන් තරගාවලියේ කාලසටහනේ වෙනසක්

මේ අතර, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර එක්දින තරගාවලියේ සහ සිම්බාබ්වේ කණ්ඩායම ද එක්වන තුන් කොන් එක්දින තරගාවලියේ කාලසටහන වෙනස් කළ බව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර අද (නොවැ: 13) පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරගය හෙටට (නොවැ: 14) කල්දමා තිබේ.

තෙවන තරගය සැලසුම් කර තිබූ පරිදි 16 වන දා පැවැත්වෙනු ඇත.