උතුරු ඉන්දියාවට 2013දී ඇතිවූ ගංවතුරෙන් 'මියගියා යැයි' සිතූ පුද්ගලයෙක් වසර ගණනකට පසු පූනේහි මානසික රෝහලකින් හමුවෙයි


රෝහල් කාර්ය මණ්ඩලය සමග රෝද පුටුවක සිටින 'ශිවම්'

ඡායාරූප මූලාශ්‍රය, Rohini Bhosale

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝහල් කාර්ය මණ්ඩලය සමග රෝද පුටුවක සිටින 'ශිවම්'
    • Author, තුෂාර් කුල්කාර්නි සහ පාචි කුල්කාර්නි
    • Role, බීබීසී මරාති සේවය

සත්‍යය ප්‍රබන්ධයකට වඩා අමුතු දෙයක් බව අපට බොහෝ විට අසන්නට ලැබේ. කෙසේ වෙතත්, අපි එය අත්විඳින තුරු, එය කියමනක් පමණක් බව පෙනේ. නමුත් ශිවම් සහ ඔහුගේ පවුලට සිදු වූ දෙය එයින් බොහෝ දුරස් ය.

ඔවුන් අවමංගල්‍ය චාරිත්‍ර පවා සිදු කළ සිය පවුලේ සාමාජිකයා නැවත වසර ගණනකට පසුව පැමිණෙනු ඇතැයි එම පවුල කිසිවිටෙකත් අපේක්ෂා කළේ නැත. පූනේ ප්‍රාදේශීය මානසික රෝහලේ කාර්ය මණ්ඩලයේ සහ පොලිස් නිලධාරීන්ගේ සහයට ස්තූතිවන්ත වන්නට එවැනි දෙයක් සිදුව තිබේ.

2013දී කේදර්නාත් ගංවතුරෙන් ගසාගෙන ගොස් මියගිය බවට වාර්තා වූ මෙම පුද්ගලයා මිය ගිය බවට ප්‍රකාශ කළ අතර පසුව ඔහුගේ පවුලේ අය සංකේතාත්මක අවමංගල්‍යයක් සහ ශ්‍රද්ධා සිදු කොට තිබේ. නමුත් දැන් ඔහු ජීවතුන් අතර සිටියදී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් සොයාගෙන තිබේ.

2021 වසරේදී, චත්‍රපති සම්බාජිනගර් දිස්ත්‍රික්කයේ වෛජාපූර් තාලුකාහි කෝවිලක සොරකමක් කරමින් සිටියදී පුද්ගලයන් කිහිපදෙනෙකු අල්ලාගෙන තිබේ. එම සොරුන් ගම්වැසියන්ට පවසා තිබුණේ කෝවිලේ වාසය කරන්නෙකු සොරකම සිදු කළ බවයි.

මෙම මැදිවයස් පුද්ගලයා එම කෝවිලේ වාසය කර තිබේ. ඔහුව සොරකම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනිණි.

ඔහුව අධිකරණයට ගෙන ආ පසුව, ඔහුට මානසික රෝගයක් ඇති බවට ත්, ඔහු පෝලියෝ රෝගයෙන් පීඩා විඳින බවට ත් විනිසුරුවරයා තීරණය කළේ ය. එමෙන් ම පාද දෙක ම දුර්වලව පැවති හෙයින් ඔහුට ඇවිදීමට ද නොහැකි විය.

ඔහු වචන කිහිපයක් මුමුණමින් සිටි නිසා අධිකරණය ඔහුව රෝහලට ඇතුළත් කරන ලෙස නියෝග කළේ ය

අධිකරණයෙන් ඔහුගෙන් විමසු සෑම දෙයකට ම ඔහු "ඕම් නමඃ ශිවාය" යනුවෙන් ප්‍රතිචාර දැක්වීය. ඔහුව පූනේහි යෙර්වාඩා මානසික රෝහලේ සිරකරු වාට්ටුවට ඇතුළත් කරන ලදී.

එහි කාර්ය මණ්ඩලය ඔහුට "ශිවම්" ලෙස ඇමතීමට පටන් ගත් අතර එය ඔහුගේ සැබෑ නම නොව කාර්ය මණ්ඩලය විසින් ඔහුට දුන් නමකි.

අදාළ මානසික රෝහලේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධිකාරි රෝහිණී බෝසාලේ බීබීසී මරාති වෙත පැවසුවේ ශිවම්ගේ වයස අවුරුදු 50-52 පමණ වන බවයි.

ශිවම්ගේ පවුල සොයා ගත්තේ කෙසේ ද?

රාදේශීය මනෝචිකිත්සක රෝහල, පූනේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රාදේශීය මනෝචිකිත්සක රෝහල, පූනේ
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශිවම්ට තම පවුල ගැන හෝ පැරණි මතකයන් ගැන වැඩි යමක් පැවසීමට නොහැකි බව වටහා ගත් රෝහිණී, ශිවම්ගෙන් ඔහුගේ පාසල ගැන විමසුවා ය.

පාසල පිළිබඳ මාතෘකාව මතු වූ විට, ඔහු රූර්කිහි පාසලක් ගැන සඳහන් කළේ ය. (ශිවම්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා පාසලේ නම සඳහන් කර නැත.)

"පාසලේ නම ඇහුවම, ඒක මොන නගරයේද කියලා මට මුලින් හිතාගන්නවත් බැරි වුණා. නමුත් ඊට පස්සේ හරිද්වාර් ගැන කතා කළා. හරිද්වාර් අවට ඒ නම තියෙන පාසලක් තියෙනවද කියලා ගූගල් එකේ හොයන්න පටන් ගත්තා," රෝහිණී බීබීසී මරාති සේවයට පැවසුවා ය.

"ශිවම් මට දුන් නම සහිත පාසලක් මට හමු වුණා. මම ශිවම්ට පාසලේ පින්තූරයක් පෙන්නුවා, ඔහු වහා ම එය හඳුනා ගත්තා. එයාගේ දෑස් දිලිසුණා," යැයි රෝහිණී පවසයි.

පසුව රෝහිණී, රූර්කි සහ හරිද්වාර් පොලිසියට කතා කර තිබේ. උත්තරාඛාණ්ඩ් පොලිසිය කළ විමර්ශනයකදී, මෙයට සමාන තොරතුරු සහිත මිනිසෙකුගේ වාර්තාවක් ඔවුන්ට හමු විය.

නමුත් පොලිස් වාර්තාවල සටහන් වී ඇත්තේ 2013 දී කේදර්නාත්හි ගංවතුරෙන් ඔහු (ශිවම්) ගසාගෙන ගිය බවයි.

පොලිසිය මුලින් ම ශිවම්ගේ පවුලේ අය අමතා කිසිවෙකු අතුරුදහන් වී ඇත්දැයි විමසූ බව රෝහිණී පැහැදිලි කරයි. පසුව පවුලේ අය තම සහෝදරයා කේදර්නාත් ගංවතුරෙන් ගසාගෙන ගොස් ඇති බව පැවසූහ. ඔහුගේ දේහය සොයාගත නොහැකි වූ විට, ඔවුන් සංකේතාත්මක අවමංගල්‍යයක් සිදු කළ බව ද ඔවුන් පවසා තිබේ.

පොලිසිය ඔහුට ශිවම්ගේ ඡායාරූපය පෙන්වූ විට, සහෝදරයා ශිවම්ව හඳුනා ගත්තේ ය.

ශිවම් වෛජාපූර් වෙත පැමිණියේ කෙසේ ද?

In 2013, a major flood in Kedarnath, Uttarakhand, caused a major tragedy (file photo)
2013දී, උත්තරාකාන්ඩ්හි කේදර්නාත් ප්‍රදේශයේ ඇති වූ මහා ගංවතුරක් හේතුවෙන් විශාල ඛේදවාචකයක් සිදුවිය (සංරක්ෂිත ඡායාරූප)

ඡායාරූප මූලාශ්‍රය, BBC Hindi

ඡායාරූප ශීර්ෂ වැකිය, 2013දී, උත්තරාඛාණ්ඩ්, කේදර්නාත් ප්‍රදේශයේ ඇති වූ මහා ගංවතුරක් හේතුවෙන් විශාල ඛේදවාචකයක් සිදුවිය (සංරක්ෂිත ඡායාරූප)

ශිවම් වසර 7ක් තිස්සේ අතුරුදන්ව සිටියේ ය. 2013 ගංවතුරෙන් ඔහු ගසාගෙන ගිය බව වාර්තා වන නමුත් එම සිදුවීමට පෙර සිට ඔහු අතුරුදහන් වී සිටියේ ය.

ඔහු වසර විස්සකට ආසන්න කාලයක් නිවසින් බැහැරව සිට�� බව රෝහිණී පැහැදිලි කරයි. ශිවම්ට උත්තරාකන්ඩ් සිට වෛජාපූර් වෙත පැමිණියේ කෙසේදැයි මතකයක් නැති බැවින් ඔහුට එය පැහැදිලි කළ නොහැකි විය.

2015 දී, ශිවම් වෛජාපූර් හි කෝවිලක ජීවත් වීමට පටන් ගත්තේ ය. ඔහු එහි ආහාරපාන ලබා ගැනීම සහ නිදාගැනීම සිදු කළ අතර, පිරිසිදු කිරීම පවා කළේ ය.

නමුත් ඔවුන් එහි ගියේ කෙසේදැයි කිසිවෙකු නොදන්නා බව රෝහිණී පැවසුවාය.

එසේනම් ශිවම්ගේ පවුල ඔහුව හඳුනාගත්තේ කෙසේ ද?

ඇත්ත වශයෙන් ම, ශිවම් ඉදිරියේ ඔහුගේ උත්තරාඛාණ්ඩ්හි ජීවත් වන පවුලට වීඩියෝ ඇමතුමක් ලබාගෙන තිබේ.

ශිවම්ගේ සහෝදරයා වීඩියෝ ඇමතුමට කතා කර ශිවම්ව හඳුනාගෙන තිබේ.

එපමණක් නොව, ශිවම් ද ඔහුගේ සහෝදරයා හඳුනාගෙන ඇති අතර, එය සියලුදෙනාට ඉතා සංවේදී අවස්ථාවක් වී තිබේ.

"ඊට පස්සේ, ශිවම් රෝහලේදී ගොඩක් සතුටින් හිටියා. ඔවුන් කියන විදියට, රුධිරය ඕනෑම ද්‍රවයකට වඩා ඝනකමයි . අපි මේක අපේම ඇස්වලින් දැක්කා. අවුරුදු ගාණකට පස්සේ වුණත්, ශිවම් එයාගේ සහෝදරයාව හඳුනාගත්තා," යැයි මනෝචිකිත්සක රෝහලේ අධිකාරී වෛද්‍ය ශ්‍රීනිවාස් කොලෝඩේ පැවසීය.

ශිවම්ගේ පවුලේ අය ඔහුව හමුවීමට පූනේ වෙත පැමිණියත්, ඔහුව රැගෙන යාමේ ගැටලුවක් ඇති විය.

ශිවම්ට එරෙහි සොරකම් කිරීමේ චෝදනාවලට සිදු වූයේ කුමක් ද?

ශිවම්ගේ ඥාතීන් සොයා ගත් නමුත් ඔහුව අත්අඩංගුවට ගෙන සිරකරුවන් සඳහා වූ මනෝචිකිත්සක වාට්ටුවකට ඇතුළත් කරන ලද සොරකම් කිරීම සම්බන්ධයෙන් වූ නඩුවෙන් ඔහු නිදහස් වී නොතිබිණි.

"මට මේ ගැන දැනගන්නට ලැබුණ ම , මම නඩුවේ තත්ත්වය පරීක්ෂා කළා," රෝහිණී පැවසුවා ය.

"නමුත් නඩුව විභාග වුණේ නැහැ. පොලිසියට සහ විනිසුරුවරයාට දැනුම් දුන් පසු, 2023 දී චෝදනා පත්‍රයක් ගොනු කළා. ඊට පස්සේ තමයි නඩුව විභාග කළේ."

ශිවම්ට ඇවිදීමට නොහැකි හෙයින් , වීඩියෝ ඇමතුමක් හරහා ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලදී. සොරකම් නඩුවේ සැකකරුවන් අධිකරණයට පැවසුවේ ශිවම් සොරකමට සම්බන්ධ නැති බව ය. "නමුත් ගම්වැසියන් අපිව අල්ලා ගත්තම අපි බොරු කිව්වා, ඒ ස්ථානයේම වැඩ කළ මිනිහෙක්ගේ නමක් කිව්වා, ඒ ඔවුන් අපිව මරයි කියලා බයට," ඔහු පැවසීය.

"ඔවුන්ගේ සාක්ෂියෙන් පසුව, නඩුව 2025 සැප්තැම්බර් මාසයේදී අවසන් තීන්දුව ලබා දීලා ශිවම් නිදොස් කොට නිදහස් කරන්න නියෝග කළා. නියෝගයේ පිටපතක් නොවැම්බර් මාසයේදී ලැබුණා, පසුව අපි ශිවම්ව ඔහුගේ පවුලේ අයට භාර දුන්නා," රෝහිණී පවසයි.

ශිවම්ගේ පවුල හමුවීම සහ සමුගැනීම

ශිවම් මේ මොහොතේ පවුලේ අය සමඟ සතුටින් සිටින බව රෝහිණී පැවසූ අතර, ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසද ඉල්ලා ඇති බැවින්, බීබීසීය විසින් ඔහුගේ පවුලේ අයගෙන් කිසිඳු ආකාරයක අදහස් විමසීමක් සිදු කර නැත.

ශිවම් සහ ඔහුගේ පවුලේ අය හමුවීම අමතක නොවන අවස්ථාවක් බව රෝහිණී පවසයි.

"පසුගිය වසර හතර තුළ රෝහල් කාර්ය මණ්ඩලයේ නිලේෂ් දීගේ සහ කවිතා ගේඩ් වාට්ටුවේ ශිවම්ව ඉතා හොඳින් රැකබලා ගෙන තිබෙනවා," රෝහිණී පැවසුවා ය.

"ශිවම් හැමෝට ම පවුලේ සාමාජිකයෙක් වගේ වෙලා හිටපු නිසා අපිට එයාට සමුදීම හැඟීම්බර මොහොතක් වුණා. නමුත් එයා එයාගේ පවුලට යන එක ගැන අපි හැමෝම සතුටු වුණා."

"පසුගිය වසර හතර පහ තුළ අපි ඔහු සමග චිත්තවේගීය බැඳීමක් ගොඩනඟා ගෙන තිබෙනවා. ඔහු ඉතා සන්සුන් හා මෘදු පුද්ගලයෙක්, ඔහුගේ කාර්යය ඉතා හොඳින් කරනවා. රාත්‍රී ආහාරයෙන් පසු පිඟන් සේදීම හෝ ඇඳන් හදන එක, ඔහු ඔහුගේ වැඩේ ඉතා හොඳින් කරනවා," එහි වෛද්‍ය අධිකාරී ශ්‍රීනිවාස් කොලෝඩ් පැවසීය.

ඔහු පැවසුවේ, සිරකරු වාට්ටුවේ රෝගියෙකු මේ ආකාරයෙන් තම පවුලේ අය සමග නැවත එක් වූ පළමු අවස්ථාව මෙය බවයි.

ශිවම්ගේ සහෝදරයා රජයේ රැකියාවක නියැලෙන බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට කිසිදු අදහසක් දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළ බවත් රෝහිණී බෝසාලේ පැවසුවා ය.

ශිවම් මේ මොහොතේ පවුලේ අය සමඟ සතුටින් සිටින බව රෝහිණී පැවසූ අතර, ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසද ඉල්ලා ඇති බැවින්, බීබීසීය විසින් ඔහුගේ පවුලේ අයගෙන් කිසිඳු ආකාරයක අදහස් විමසීමක් සිදු කර නැත.