හදිසි ආපදාවන්ට මුහුණ දීමට සහ ඒවා කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකාව තවදුරටත් ශක්තිමත් කරගත යුතු ක්ෂේත්‍ර මොනවා ද?

ශ්‍රී ලංකාවේ කොළඹ හරහා හමා ගිය 'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ අධික වර්ෂාවෙන් පසු, ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල පදිංචිකරුවන් බේරාගෙන ආරක්ෂිත ස්ථාන වෙත මඟ පෙන්වන දේශීය ස්වේච්ඡා සේවකයන්.

ඡායාරූප මූලාශ්‍රය, Krishan Kariyawasam / NurPhoto via Getty Images

    • Author, තාරක සම්මාන්
    • Role, බීබීසී සිංහල

ශ්‍රී ලංකාව එහි මෑත කාලීන ඉතිහාසයේ දරුණුතම ව්‍යසනයට මුහුණ දී මේ වන විට සතියකට වැඩි කාලයක් ගත වී තිබේ.

දිවයිනේ දිස්ත්‍රික්ක තුනක් හැර අනෙක් සියලු දිස්ත්‍රික්ක 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක් විය.

අධික වැසි සමග සමග ඇති වූ ගංවතුර මෙන් ම, නාය යාම් හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ ගණන 600 ඉක්මවා ගොස් ඇත. තවමත් සොයා නොගත් පුද්ගලයන් ගණන 200කට වැඩිය. නිවාස 5000කට අධික සංඛ්‍යාවක් මුළුමනින් ම විනාශ වී තිබේ.

එවැනි පසුබිමක මෙම ආපදා අවදානම සහ එහි බලපෑම් අවම කිරීම මෙරට මීට වසර 20කට පෙර ස්ථාපනය කෙරුණු ආපදා කළමනාකරණ පද්ධතිය කොතෙක් දුරට සමත් වී ද? යන්න බොහෝ දෙනෙකු නගන ප්‍රශ්නයකි.

විශේෂඥයින් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ පසුගිය දා අත්විඳි ආපදා තත්ත්වය වැනි තත්ත්වයකට "එකවර මුහුණ දීමේ හැකියාව" කිසිදු රටකට නොමැති බව ය.

අපේක්ෂා කරන දෙයට වඩා වැඩි යමක් සිදු විය හැකි බැවින් තත්ත්වය වෙනස් විය හැකි බව පෙන්වා දෙන ඔවුන් සඳහන් සඳහන් කරන්නේ, ආපදා කළමනාකරණය ශක්තිමත් කිරීමට ඇති වෙනත් අවස්ථා ගැන ද අවධානය යොමු කළ යුතු බව ය.

මේ, ශ්‍රී ලංකාවේ වත්මන් ආපදා කළමනාකරණ පද්ධතියත්, එය මෙවර ක්‍රියාත්මක වූ ආකාරයත්, ඉදිරියේදී එය ශක්තිමත් කළ යුතු ආකාරයත් පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) යනු, ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්‍රමුඛතම ආයතනය යි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එහි නිල වෙබ් අඩවියට අනුව, සියලු ම පාර්ශවකරුවන්ගේ සහභාගිත්වය ඇතිව ආපදා අවදානම අවම කිරීම සඳහා ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම මෙම ආයතනය වෙත පැවරී ඇති වගකීම යි.

2005 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනතේ විධිවිධාන අනුව, ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික සභාවේ (NCDM) විධායක ආයතනය ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

අනෙකුත් ප්‍රධාන ආයතන සමග එක්ව, පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඉටුකිරීම, අවම කිරීම, සූදානම් කරන ලද සැලසුම් පවත්වා ගැනීම, අවදානම්සහගත තත්ත්වයේ පසු වන ජනතාව සඳහා පූර්ව අනතුරු හැඟවීම් සහ හදිසි ප්‍රතිචාර දැක්වීම් යනාදිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන ක්‍රියාකාරකම් අතර වේ.

එහි වෙබ් අඩවියේ සඳහන් පරිදි සියලු ම ආපදා කළමනාකරණ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධීකරණයට පහසුකම් සැපයීම උදෙසා, දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් දීප ව්‍යාප්තව ආපදා කළමනාකරණ කමිටු පිහිටුවා තිබේ.

තව ද, උපජාතික මට්ටමෙන් ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම සඳහා සියලු ම දිස්ත්‍රික්කවල, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක (DDMCU) පිහිටුවා ඇති බව ද එහි වැඩිදුරටත් දැක්වේ.

පනතට අනුව ගංවතුර, නාය යාම්, කාර්මික උවදුරු, සුනාමි (කම්පන තරංග), භූමිකම්පා, ගුවන් අනතුරු, ගිනි ගැනීම්, වසංගත රෝග, පිපිරීම්, ගුවන් යානා කඩා වැටීම්, සිවිල් හෝ අභ්‍යන්තර ගැටුම්, රසායනික අනතුරු, විකිරණ අනතුරු, තෙල් කාන්දුවීම්, න්‍යෂ්ටික ව්‍යසන, නාගරිකව සිදුවන ගිනිගැනීම් සහ ලැව්ගිනි, වෙරළ ඛාදනය, ටෝනාඩෝ, අකුණු අනතුරු සහ ප්‍රබල අකුණු පිපිරීම් වැනි උවදුරු ආපදා කළමනාකරණයට කළ යුතු ගණයට අයත් වේ.

පෙර සූදානම සහ මෙවර ක්‍රියාත්මක වූ ආකාරය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මූලික කාර්යභාරය වන්නේ, අවදානමට ලක් විය හැකි ජනතාව ආපදා ඇති වීමට පෙර සිට ම එවැනි තත්ත්වයකදී කටයුතු කළ යුතු ආකාරය දැනුවත් කිරීම බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සිංහල වෙත පැවසීය.

ඔහු අවධාරණයේ කළේ, ආපදා 100%ක් නැති කළ නොහැකි නමුත් දැනුවත් කිරීමේ යාන්ත්‍රණය මගින් ආපදා තත්ත්වයකට පෙර ජනතාව එම ස්ථානවලින් ඉවත් කිරීම කළ හැකි බව ය.

නායයාමේ අවදානම ඇති ප්‍රදේශ හඳුනාගෙන එම ජනතාව සඳහා සෑම වසරක ම "දැනුවත් කිරීමේ වැඩසටහන් 300-400ත් අතර ගණනක්" සිදු කරන බව ඔහු සඳහන් කළේ ය.

"අධිඅවදානම්, මධ්‍ය අවදානම් සහ අඩු අවදානම් කලාප තුනක් හඳුනාගෙන ඒ නිවෙස්වලට වෙන ම දැනුවත් කරලා තියෙනවා. ඒ අයව ඉවත් කිරීමේ පෙරහුරු කරනවා," නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.

එමෙන් ම, ඉවත් වීමේ නිවේදන නිකුත් කළ පසු එම ප්‍රදේශවල ජනතාව යා යුතු තැන් පිළිබඳව ද දැනුවත් කිරීම් පෙර සිට ම කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

ඔහුට අනුව, ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් සෑම වසරක ම ග්‍රාම නිලධාරීන් සඳහා ද එක් දින පුහුණු වැටසටහනක් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ද මෙම මධ්‍යස්ථානය මගින් සිදුවේ.

"නායයාම්වලට වෙන ම කරනවා, ගංවතුරට වෙන ම කරනවා, සුනාමිවලට වෙන ම කරනවා," ඔහු පැවසීය.

ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ, ආපදා පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් ලබා දෙන ක්‍රමවේද 15ක් පමණ රට තුළ ක්‍රියාත්මක බව ය.

මෙවර ඇති වූ ආපදා තත්ත්වයේදී ද එම පියවර අනුගමනය කළ බව කී ඔහු සඳහන් කළේ;

"සියලු මාධ්‍ය කැඳවලා 25 වෙනි දා අපි ප්‍රෙස් එකක් තිබ්බා. තිය���ා කිව්වා මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්, නිවේදන ���ිකුත් කරලා තියෙනවා. කහ නිවේදන - ඇලර්ට් ඉන්න, රතු නිවේදන – ආපු හැටියේ ඉවත් වෙන්න බලන් ඉන්න කියන එක අපි කිව්වා. මාධ්‍ය හරහා, ග්‍රාම නිලධාරී හරහා කිව්වා, පොලිසිය හරහා කිව්වා, ත්‍රිවිධ හමුදා, සන්නිවේදන ජාල හරහා, ඒ ඔක්කොම හරහා කිව්වා. SMS පණිවිඩ ලක්ෂ ගාණකට දිගින් දිගට ම ලබා දුන්නා," යනුවෙනි.

ඔහු පෙන්වා දුන්නේ, බෝට්ටු අවශ්‍ය ස්ථාන සඳහා "දින දෙකකට පෙර" ඒවා ළං කර තැබීමට පවා තම මධ්‍යස්ථානය පියවර ගත් බව ය.

"නායයාම් ඒවි, ගංවතුර ඒවි කියලා හිතන තැන්වලට අපේ තියෙන උපරකරණ ළං කරලා තිබ්බා දවස් දෙකකට ඉස්සෙල්ලා. හදිස්සියකට ටක් ගාලා ගන්න," ඔහු තවදුරත් පැහැදිලි කළේ ය.

"රතු නිවේදන පවා ජනතාවට ලබා දුන්නා. මේ නිවේදනය එක පාරට දෙන්නේ නැහැනේ. මුලින් ම දෙනවා කහ නිවේදනයක්, ඒ කියන්නේ ඔන්න අවදානමක් තියෙනවා කියලා. ඊට පස්සේ ඇම්බර් කලර් එක ආවා. අනිත්මට ම නේ රතු නිවේදනය එන්නේ," ඔහු පැවසීය.

ගැටලු මතු වුණ තැන්

ග්‍රාම නිලධාරීවරයාගේ සිට ඉහළට සෑම පාර්ශවයක ම සහය ලැබෙන "ශක්තිමත්" ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් රට තුළ පැවතිය ද "නිවැරදි වේලාවට ජනතාව පූර්ව අනතුරු ඇඟවීම් සඳහා ප්‍රතිචාර නොදැක්වීම," මෙම ආපදා තත්ත්වයේදී හඳුනා ගත් එක් ගැටලුවක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සිංහල වෙත පැවසීය.

"මගේ අත්දැකීම අනුව නම්, ජනතාවට පණිවිඩය ලබා දුන්නා ම ඉවත් වෙන්නේ නැහැ. ඇහුවා ම කියනවා, ගේ හොරු බිඳි යි, බය යි කියලා ඉන්නවා. සමහර තැන්වල පවුලේ කට්ටිය අයින් වෙලා එක පුද්ගලයෙක් රැඳී ඉන්නවා ගේ ආරක්ෂා කර ගන්න," ඔහු සඳහන් කළේ ය.

"ඔය හැම තැනකදී ම ජනතාව ඉවත් වුණේ නැති එක ගැටලුවක් වුණා. 2016ත් එහෙමයි, 2017ත් එහෙමයි. 2017දී අපි ගෙයක් ගෙයක් ගාණේ ගිහින් මාතර - ගාල්ල - කළුතර ප්‍රදේශයවල සමීක්ෂණයක් කළා. එතකොට කියන්නේ, පණිවිඩේ නම් හම්බවුණා. ගේ යට වෙන්න පටන් ගන්නකොට අපිට කතා කරලා කියනවා බෝට්ටු එවන්න කියලා," නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසීය.

නායයාම් පිළිබඳව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආර්.එම්.එස්. බණ්ඩාර බීබීසී සිංහල සමග සඳහන් කළේ, ඉකුත් සතියේ ඇති වූ ආපදා තත්ත්වය ජනතාව අවදානම් තත්ත්වයන් සැලකිල්ලට නොගැනීමට ලබා දුන් පිළිතුරක් බව ය.

"ලංකාවේ ප්‍රශ්නේ තියෙන්නේ, අධිඅවදානම් ද, මධ්‍ය අවදානම් ද කියන එක මිනිස්සු ගණන් ගන්නේ නැහැ. ඒ ගණන් ගත්තේ නැති එකේ උත්තරයක් තමයි අපිට මේ ඊයේ පෙරේදා හම්බ වුණේ," ඔහු පැවසීය.

"අපූර්ව අනතුරු ඇඟවීමේ තියෙන අවසාන එක, ප්‍රතිචාර දැක්වීම... කොච්චර පණිවිඩ ගියත් වැඩක් නැහැ, ජනතාව ප්‍රතිචාර දක්වන්නේ නැත්නම්. ඒ අවසානය අසාර්ථක වුණොත් ඉතිරි ඒවා කොච්චර සාර්ථක වුණත් වැඩක් නැහැ.

ගොඩක් පුහුණුවීම්වලට ගෙදර ඉන්න ස්ත්‍රී පාර්ශවය තමයි සහභාගි වෙන්නේ. ගණන් ගන්නේ නැහැ සමහර තැන්වල," ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ, සහන කඳවුරුවලට පැමිණෙන ජනතාව සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පවා තමන් සතු බව ය.

ආපදා කළමනාකරණය ශක්තිමත් කළ හැක්කේ කෙසේ ද?

ස්වභාවික ආපදා නතර කිරීමට නොහැකි වුව ද ආපදා හේතුවෙන් ඇති වන අවදානම් අවම කර ගැනීමට, පෙර සූදානම අතිශය වැදගත් බව එක්සත් රාජධානියේ ලෆ්බරෝ විශ්වවිද්‍යාලයේ ආපදා අවදානම් අවම කිරීම සහ දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම පිළිබඳ මහාචාර්ය ඩිලන්ති අමරතුංග බීබීසී සිංහල සමග සංවාදයකට එක් වෙමින් පැවසුවා ය.

දැන් එක්සත් රාජධානියේ දිවි ගෙවන, මෙරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇරඹි දා සිට ඒ සමග සමීපව කටයුතු කළ ඇය ආපදා කළමනාකරණය විෂයේ ප්‍රවීණයෙකි.

  • ඒකාබද්ධ සම්බන්ධීකරණ යාන්ත්‍රණය

ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ඒකාබද්ධ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් පැවතිය යුතු බව මහාචාර්ය ඩිලන්ති අමරතුංග පෙන්වා දුන්නා ය.

"මට හිතෙනවා ආපදා සේරම සම්බන්ධීකරණය කරන්න සම්බන්ධීකරණ ඒකකයක් තියෙන්න ඕනේ කියලා. ලංකාවේ ගංවතුර බලන්නේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන්. සුනාමි බලන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන්. නායයාම් පූර්ව අනතුරු ඇඟවීම් දෙන්නේ NBRI එක. එතකොට ඔහොම ගොඩක් ආයතන සම්බන්ධ වෙද්දී සම්බන්ධීකරණයේ පොඩි හරි හිඩැසක් ආවොත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්," ඇය පැහැදිලි කළා ය.

ඒකාබද්ධ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් පැවතීම මගින් සම්පත් බෙදී යාම අවම වී වැඩි සාර්ථකත්වයක් අත් කර ගත හැකි බව මහාචාර්යවරිය පෙන්වා දුන්නා ය.

ඇය පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව තුළ පවතින පරිපාලන ක්‍රමවේදය ද සරල විය යුතු බව ය.

මධ්‍යම රජය තියෙනවා, පළාත් සභාවලය අයත් ආයතන තියෙනවා, ප්‍රාදේශීය සභා තියෙනවා. ඔහොම ගොඩක් තියෙන කොට අර හිඩැස් අස්සෙන් හැලෙන්න පුළුවන් සමහර දේවල්. එතකොට කෙනෙකුට කියන්න පුළුවන්, මේක අයිති අපිට නෙවෙයි අරයාට කියලා," ඇය පැහැදිලි කළා ය.

  • මහජන සහභාගිත්ව ක්‍රියාකාරකම්

ජනතාව ආපදා පිළිබඳව නිකුත් කෙරෙන පූර්ව අනතුරු ඇඟවීම් නොසලකා හරින්නේ ඇයි ද? යන ප්‍රශ්නයට පිළිතුරක් ද මහාචාර්ය ඩිලන්ති අමරතුංග බීබීසී සිංහල සමග කළ සංවාදයේදී ලබා දුන්නා ය.

ඇය පැහැදිලි කළේ, ඒ සඳහා ආපදා කළමනාකරණ පද්ධතිය, ක්‍රියාවලිය සහ මිනිසුන් අතර විශ්වාසයක් ගොඩනැගිය යුතු බව ය.

"දැන් තියෙන තත්ත්වයේ හැටියට විශාල මහජන සහභාගීත්ව ක්‍රියාකාරකම් කරන්න ඕනේ, මිනිස්සුන්ට තේරුම් ගන්න, ඇයි පූර්ව අනතුරු ඇඟවීම් මෙච්චර වැදගත් කියලා. ඔක්කෝට ම වඩා වටින්නේ මිනිස්සුන්ගේ ජීවිත.

පූර්ව අනතුරු ඇඟවීම් දුන්නා කියලා, නායයාමක් වෙනවා නම්, එතන තියෙන ගොඩනැගිල්ල කඩන් වැටෙන එක අපිට නවත්තන්න බැහැ. නමුත් ඒ ගොඩනැගිලි ඇතුළේ මිනිස්සු ඉන්නවා නම්, ඒ අයගේ ජීවිත බේරා ගන්න පුළුවන්," ඇය පැහැදිලි කළා ය.

  • පැහැදිලි සන්නිවේදනය

ආපදා තත්ත්වවලදී වැරදි තොරතුරු ජනතාව අතර සංසරණය වීම් බරපතළ ගැටලුවක් බව මහාචාර්යවරිය පැවසුවා ය.

ඇය පෙන්වා දුන්නේ, වැරදි තොරතුරු ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා බලධාරීන් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව ය.

"ඉතාමත් පැහැදිලි (very clear) සහ ක්‍රියාකාරී වෙන්න පුළුවන් මට්ටමේ සන්නිවේදනයක් (actionable communication) තියෙන්න ඕනේ. අන්න ඒක ලංකාවේ තව ප්‍රශ්නයක්. හරියට වැරදි තොරතුරු ප්‍රචාරය වෙනවා. මම දන්නේ නැහැ, මම කොච්චර වැරදි තොරතුරු සමාජ මාධ්‍යවල දැක්කා ද කියලා.

"වැරදි තොරතුරු යද්දී මිනිස්සුන්ට හිතා ගන්න බැහැ, කෝක ද හරි කෝක ද වැරදි කියලා. ඒකත් අර මහජන සහභාගිත්ව ක්‍රියාකාරකම් හරහා මිනිස්සුන්ට කියන්න ඕනේ, මෙන්න මේ බලධාරීන් කියන එක අහන්න කියලා. එහෙම මිසක් අර ටික්ටොක් එකයි, මේ ෆේස්බුක් මැසේජ් එකයි නෙවෙයි.

ඒකෙන් අපිට පුළුවන් සංස්කෘතියක් හදන්න, මිනිස්සු සවන් දෙන සංස්කෘතියක් හදන්න," ඇය පැහැදිලි කළා ය.

  • විද්‍යාත්මක සාක්ෂරතාව සහ දරුවන්

මහාචාර්ය ඩිලන්ති අමරතුංග එක්සත් රාජධානියේ සිය අත්දැකීම් ඇසුරින් පෙන්වා දුන්නේ, මෙරට ජනතාව අතර විද්‍යාත්මක සාක්ෂරතාව "බෙහෙවින් අඩු" බව ය.

පර්යේෂකයින් සහ ජනතාව අතර පවතින පරතරය ඊට හේතුවක් බව සඳහන් කළ ඇය මෙසේ ද පැවසුවා ය; "ලංකාවේ මේ විෂය දන්න ගොඩක් අය ඉන්නවා. ඒ අයට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ ගමට ගිහිල්ලා කතා කරන්න. මෙන්න මේ දේවල් තමයි අපි පර්යේෂණවලින් ඉගෙනගෙන තියෙන්නේ, මෙන්න මේ දේවල් තමයි ඔයාලට වෙන්න පුළුවන් කියන එක," ඇය පැවසුවා ය.

පූර්ව අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන ආකාරය මෙන් ම ඒවාට සවන්දිය යුතු ආකාරය පිළිබඳව ප්‍රජා මට්ටමේ ක්‍රියාකාරකම් මගින් ජනතාවට වඩා ත් හොඳ අවබෝධයක් ලබා දිය යුතු බවත් ඒ සඳහා යාන්ත්‍රණයක් ඇති කළ යුතු බව ත් ඇය අවධාරණය කළා ය.

"මිනිස්සුන්ට තේරෙන භාෂවෙන් අපි විද්‍යාත්මක සාක්ෂරතාව ලබා දෙන්න ඕනේ. ලංකාව හොඳ උගත් මිනිස්සු ඉන්න රටක්. එහෙනම් එයාලා ගණන් ගන්න විදිහට කරන්න මොකක් ද වෙනස් කරන්න ඕනේ. උදාහරණ එක්ක කියලා දෙන්න ඕනේ සහ නිතිපතා ඒක වෙන්න ඕනේ."

ජනතාව දැනුවත් කිරීමට ඇති අනෙක් වඩාත් සුදුසු ම ආකාරය දරුවන් බව ඇය පැවසුවා ය.

"මිනිස්සුන්ට තේරුම් කරන්න අනිත් හොඳ ම මාධ්‍ය තමයි පොඩි ළමයින් ඉලක්ක කරන එක. ළමයින්ට ඉස්කෝලේ ඕවා කියලා දුන්නා නම්, එයාලා ඒවා ගිහින් ගෙදර කියනවා. එතකොට ඒකෙන් දෙමව්පියෝ දැනුවත් වෙනවා.

ළමයින්ට අධ්‍යාපන පද්ධතියේ හොඳට ඕවා උගන්වනවා නම්, ඒවා උගන්වන්න ඕනේ ඇත්තට ම. නිකම් 5 ශිෂ්‍යත්වයට විතරක් බොරුවට පණ කඩාගෙන දුවලා වැඩක් නැහැ. මේවා සෑහෙන වැදගත්. ආරම්භ කරන්න හොඳ තැනක් තමයි පාසල්," මහාචාර්යවරිය තවදුරටත් පැහැදිලි කළා ය.

  • ගම් මට්ටමින් සැලසුම් සහ නීති සංශෝධනය

රතු නිවේදන නිකුත් කර ජනතාව ඔවුන්ගේ වාසස්ථානවලින් ඉවත් කිරීම්දී පෙර සිට ම ඔවුන් යා යුතු තැන් – යා යුතු මාර්ග පිළිබඳව දැනුවත් කර තැබිය යුතු බව ඇය පැවසුවා ය.

"අනිත් එක මිනිස්සුත් බලාගන්න ඕනේ, හැමදේම රජයෙන් බලාපොරොත්තු වෙන්නේ නැතුව, හදිස්සියක් වුණොත් අපි කොහෙට ද යන්නේ කියන එක. ඒකයි මම කිව්වේ පූර්ව අනතුරු ඇඟවීම් අධ්‍යාපනය සහ මහජන ක්‍රියාකාරකම් හරි වැදගත් කියලා."

අධිඅවදානම් කලාපවලින් ජනතාව ඉවත් නොවීමේ ගැටලුව සඳහා පවතින නීති සංශෝධනය වැදගත් බව මහාචාර්යවරිය අවධාරණය කළා ය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ, නාය යාම් අධිඅවදානම් ප්‍රදේශවල ජනතාවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ආරක්‍ෂිත ස්ථානයකින් "නොමිලේ" ඉඩමක් ලබා දී නිවස ඉදි කර ගැනීමට "රු. ලක්ෂ 25ක මුදලක් කොටස් තුනකින්" ලබා දුන්න ද, ඔවුන් එම නිවස ඉදිකර කුලී පදනම මත වෙනත් පාර්ශවයකට ලබා දී අවදානම් කලාපයේ ඇති නිවසේ ම ජීවත් වන බව ය.

කෙසේ වෙතත්, අවදානම් කලාපයේ පවතින පැරණි නිවස කඩා ඉවත් කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන බව ඔහු පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය ඩිලන්ති අමරතුංග මෙසේ සඳහන් කළා ය: "නීතියමය තත්ත්වය ගැන ආයෙත් අනිවාර්යයෙන් ම හිතලා බලන්න ඕනේ. ඉවත් වෙන්නේ නැත්නම්, නීතියක් ගෙනැල්ලා ඉවත් කරන්න පුළුවන් වෙන්න ඕනේ."

"අපේ භාෂාවෙන් කියනවා නම්, ලංකාවේ මිනිස්සුන්ගේ පොඩි පණ්ඩිතකමක් තියෙනවා. කියන දේ අහන්නේ නැති ගතියක් තියෙනවා. වතුර එනවා කිව්වා ම, පහළ තට්ටුවට ආවට පළවෙනි තට්ටුවට ආවේ නෑ කියලා, ඒකට වෙලා ඉන්නවා. එතනට එනකොට කියනවා, අනේ දැන් අපිව බේර ගන්න කියල. එහෙම වෙනකොට ම ගලවා ගැනීමේ කණ්ඩායම් එවන්න තරම් ලොකු ධාරිතාවක් ලංකාවට නැහැනේ," ඇය වැඩිදුරටත් පැවසුවා ය.