ෆූජිවාරා ආචරණය: දිට්වා සුළි කුණාටුව එතරම් දරුණු වුණේ ඇයි?
- Author, බීබීසී සිංහල
ෆුජිවාරා ආචරණය හේතුවෙන් දිට්වා සුළි කුණාටුව දරුණු කුණාටු සිදුවීමක් බවට පත්වූ බව බටහිර ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටිආරච්චි පවසයි.
ඔහු පවසන්නේ, නිවර්තන සුළි කුණාටු පුරෝකථනය කිරීමේ හැකියාව පිළිබඳව අනුමාන කිහිපයක් ඇති බව ය.
සුළි කුණාටුවක් වර්ධනය වීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු සාධක රාශියක් ඇති අතර නිවර්තන සුළි කුණාටුවක් වූ දිට්වා සුළි කුණාටුව වඩාත් දරුණු තත්ත්වයකට පත්වීමට බලපෑ සාධක කිහිපයක් තිබූ බව මහාචාර්යවරයා පැහැදිලි කරයි.
සුළි කුණාටු ඇති වන්නේ කෙසේ ද?
සුළි කුණාටු ඇති වීමට මුහුදේ මතුපිට උෂ්ණත්වට ඍජුව බලපාන බව මහාචාර්ය චරිත පට්ටිආරච්චි පෙන්වා දෙයි.
ඔහු පවසන පරිදි පළමුව, සුළි කුණාටු සඳහා ශක්තිය පැමිණෙන්නේ සාගරයෙනි. සාමාන්‍යයෙන් මුහුදු මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ට වඩා වැඩි ය. ශ්‍රී ලංකාව වටා සාගරය දැනට අංශක 30ට වඩා වැඩි අගයක් ගනී.
"අපි ඉන්න මුහුදේ උෂ්ණත්වය හන්දා තමයි සුළි කුණාටු ඇති වෙන්නෙ. කුණාටු පටන් ගන්නෙ මුහුදෙන්. මුහුදෙන් තමයි ශක්තිය එන්නෙ. ඒ ශක්තිය එනකොට මුහුදෙන් වතුර අරගෙන ඒ වතුර වාෂ්පීකරණය වෙලා කුණාටුවට හසුවුණාට පස්සෙ කුණාටුව ගොඩබිමකට එන්නෙ වැස්සත් අරගෙන," මහාචාර්ය චරිත පට්ටිආරච්චි බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවකදී පැවසීය.
දිට්වා දරුණු වුණේ ඇයි?
දිට්වා සුළි කුණාටුව වඩාත් දරුණු තත්ත්වයකට පත්වීමට බලපෑ හේතුව පිළිබඳව ද ඔහු ආචාර්ය සරත් විජේරත්න (බටහිර ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ ම සේවය කරයි) උපුටා දක්වමින් මෙසේ පවසයි.
'දිට්වා ගොඩනැගීමේ මූලාරම්භය. මෙය ආචාර්ය සරත් විජේරත්න විශ්ලේෂණය කර තිබෙනවා. ඔහුගේ විශ්ලේෂණය අනුව පද්ධතිය ආරම්භ වූයේ, අවපීඩන පද්ධති දෙකක් එකතු වීමෙන්. එකක් දිවයිනේ ගිනිකොණ දෙසින් සහ අනෙක නිරිත දෙසින්. නිරිත දෙසින් ඇති එකක් ශක්තිමත් වී නැගෙනහිරට චලනය වූ අතර එකක් ගිනිකොණ දෙසින් සෙමින් බටහිරට ගමන් කළා. අවසානයේ ඒවා එකට එකතු වී දිට්වා සුළි කුණාටුව සෑදුණා. අඩු පීඩන පද්ධති දෙකක මෙම ඒකාබද්ධ කිරීම ෆූජිවාරා ආචරණය (Fujiwhara Effect) ලෙස හැඳින්වෙනවා. මෙය ඉතා දුර්ලභ සිදුවීමක් වන අතර මීට පෙර මෙම කලාපයේ එවැනි තත්ත්වයක් වාර්තා වී තිබුණේ නැහැ. අවපීඩන පද්ධති දෙකක් ඒකාබද්ධ වීම නිසා දිට්වා දරුණු තත්ත්වයකට පත්වුණා. ඒකෙන් වුණ හානිය අපි දැන් දන්නවා.'
ෆූජිවාරා ආචරණය යනු කුමක් ද?
ෆූජිවාරා ආචරණය යන්න ෆුජිවාරා අන්තර්ක්‍රියාව හෝ ද්විත්ව අන්තර්ක්‍රියාව ලෙස ද හැඳින්වේ.
අසල ඇති අවපීඩන තත්ත්වයන් දෙකක බලපෑම ඒකාබද්ධ වීමෙන් ඇති වන තත්ත්වය ෆූජිවාරා ආචරණය ලෙස පිළිගැනේ.
මේ පිළිබඳව මුලින් විස්තර කළ ජපන් කාලගුණ විද්‍යාඥ සකුහෙයි ෆූජිවාරාගේ නමින් එය නම් කර තිබේ.
කුඩා සුළං ප්‍රවාහයන් දෙකක අන්තර්ක්‍රියා මගින් විශාල සුළි කුණාටුවක් වර්ධනය වීම හෝ සුළි සුළං දෙකක් එකකට ඒකාබද්ධ වීමෙන් එහි ප්‍රබලත්වය වැඩි වීම මෙහිදී සිදුවේ.
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය
දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ජලගැලීම් සහ නායයාම් හේතුවෙන් මේ වන විට 600කට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, තවත් 200කට ආසන්න පිරිසක් අතුරුදන්ව සිටිති.
ඊට අමතරව, මෙම තත්ත්වය හේතුවෙන් පවුල් 600,000කට පමණ අයත් පුද්ගලයින් 2,100,000කට අධික පිරිසක් බලපෑමට ලක්ව තිබේ.
පූර්ණ වශයෙන් හානි වූ නිවාස ගණන 4,500 ඉක්මවන අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 76,000 ඉක්මවයි. ආරක්‍ෂිත ස්ථාන 956ක මේ වන විට පවුල් 27,000කට අයත් පුද්ගලයින් 89,000කට අධික පිරිසක් රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
ඊට අමතරව, විවිධ වගාවන්ට මෙන් ම මාර්ග රැසකට ද හානි සිදු විය.
සුළි සුළඟකට නමක් ලැබෙන්නේ කොහොම ද?
නිවර්තන සුළි සුළං සඳහා නම් තීරණය කිරීමේ ක්‍රියාවලිය අදාළ නිවර්තන සුළි සුළං කලාපය භාර ආයතන විසින් එහි වාර්ෂික/ද්විවාර්ෂික සැසිවලදී තීරණය කරන බව ලෝක කාලගුණික සංවිධානය පවසයි.
නිවර්තන සුළි සුළං කලාපීය ආයතන 5ක් ඇත. එනම් ESCAP/WMO ටයිෆූන් කමිටුව, WMO/ESCAP නිවර්තන සුළි සුළං පිළිබඳ මණ්ඩලය, RA I නිවර්තන සුළි සුළං කමිටුව, RA IV සුළි සුළං කමිටුව සහ RA V නිවර්තන සුළි සුළං කමිටුව යන ඒවා ය.
මෙම ආයතන ලෝක කාලගුණික සංවිධානයට අයත් සාමාජික රටවල ජාතික කාලගුණ විද්‍යා හා ජල විද්‍යාත්මක සේවා විසින් යෝජනා කරන ලද නම් ලැයිස්තුවක් සකස් කරයි.
නම් තෝරා ගැනීම පදනම් වී ඇත්තේ එක් එක් කලාපයේ ජනතාවට හුරුපුරුදු, සුළි සුළං අවබෝධ කර ගැනීමට සහ මතක තබා ගැනීමට පහසුවීම ය.
මේවා භාවිත කිරීමේ ක්‍රියා පටිපාටි වෙනස් විය හැකි අතර, ඇතැම් කලාප යෝජිත නාමයන්ගේ අකාරාදී පිළිවෙළ අනුව භාවිත කරන අතර අනෙක් ඒවා රටේ නම්වල අකාරාදී පිළිවෙළ භාවිත කරයි.
නිවර්තන සුළි සුළං පුද්ගලයන්ගේ නම් අනුව නම් නොකෙරේ.
ශ්‍රී ලංකාව අයත් කලාපය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
බෙංගාල බොක්ක සහ අරාබි මුහුද ආශ්‍රිතව ඇති වන නිවර්තන සුළි කුණාටු අදාළ තීව්‍රතාවට ළඟා වූ විට ඒවාට නම් තැබීමේ වගකීම නවදිල්ලි නිවර්තන සුළි සුළං මධ්‍යස්ථානය සතු වේ.
2000 වසරේදී ඕමානයේ මස්කට්හි පැවති 27 වන සැසියේදී නිවර්තන සුළි සුළං පිළිබඳ ලෝක කාලගුණික සංවිධානය මණ්ඩලය, බෙංගාල බොක්කෙහි සහ අරාබි මුහුදේ නිවර්තන සුළි සුළං සඳහා නම් පැවරීමට මූලික වශයෙන් එකඟ විය.
උතුරු ��න්දියානු සාගරයට ඉහළින් ඇති නිවර්තන සුළි සුළං නම් කිරීම 2004 සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ වූ අතර, සාමාජිකයින් අට දෙනෙකු විසින් නම් සපයන ලදී. එතැන් සිට, රටවල් පහක් මණ්ඩලයට සම්බන්ධ වී ඇත.
කමිටු සාමාජිකයාගේ නම් රටේ නම අනුව අකාරාදී පිළිවෙළට ලැයිස්තුගත කර ඇත.
එම නම් අනුපිළිවෙළින් භාවිත කෙරේ.
උතුරු ඉන්දියානු සාගරයට ඉහළින් ඇති නිවර්තන සුළි සුළංවල නම් භාවිත කළ පසු ඒවා නැවත භාවිත නොකෙරේ.
ඒවාට යොදන නම් අලුත් විය යුතු ය. ලෝකයේ වෙනත් කිසිදු සුළි කුණාටු නම් ලැයිස්තුවක එය නොතිබිය යුතු ය.
දිට්වා සුළි කුණාටුව
ශ්‍රී ලංකාවට දරුණු ලෙස බලපෑ දිට්වා සුළි කුණාටුවට එම නම යෝජනා කර ඇත්තේ, යේමනය යි.
මෙම කලාපයට මීළඟට බලපාන සුළි කුණාටුව බංග්ලාදේශය විසින් යෝජනා කරනු ලැබ ඇති ඔර්නාබ් ලෙස නම් කරනු ඇත.
ශ්‍රී ලංකාව සුළි කුණාටු සඳහා යෝජනා කර ඇති නම් වන්නේ, අසනි, ශක්ති, ගිගුම්, ගගන, වේරම්භ, ගර්ජනා, නීබා, නින්නාද, විදුලි, ඕඝ, සලිත, රිවි, රුදු යන නාමයන් ය.















