ස්වාභාවික ආපදාවකදී ජීවිත ආරක්ෂා කර ගැනීමට ඔබ දැනගත යුතු ප්‍රථමාධාර මොනවා ද?

ප්‍රථමාධාර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

ශ්‍රී ලංකාවේ සිදුවන ස්වාභාවික ආපදා හේතුවෙන් වසරක් පාසා සැලකිය යුතු ජීවිත සංඛ්‍යාවක් රටට අහිමි වී යයි.

ඇතැම් අවස්ථාවල එලෙස ජීවිත අහිමි වීම වළක්වා ගැනීමේ හැකියාවක් පැවතිය ද ප්‍රථමාධාර පිළිබඳව අවම දැනුමක් තිබීම හේතුවෙන් ද ජීවිත අහිමි වී තිබේ.

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ ව්‍යසනයෙන් බොහෝ ජීවිත අහිමි වූ අතර ඇතැම් විට ප්‍රථමාධාර සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොතිබීම හේතුවෙන් ද සිදුවූ මරණ පිළිබඳව අසන්නට ලැබිණි.

ගංවතුර සහ නායයාම් වැනි ස්වාභාවික ආපදාවලදී ආපදාවට පත්ව මුදා ගන්නා පුද්ගලයන්ට මූලිකව ම දිය හැකි අවම ප්‍රථමාධාර මොනවා ද? යන්න පිළිබඳව බීබීසි සිංහල සේවය කරුණු සොයා බැලීය.

'පළවෙනි ම දේ තමයි තමුන් බේරෙන එක'

ස්වාභාවික විපතකදී තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම ප්‍රමුඛතම වගකීම බව ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂණ සංගමයේ ප්‍රධාන ලේකම් පී.කේ. එදිරිසිංහ බීබීසි සිංහල සේවයට ප��වසීය.

"පළවෙනි ම දේ තමයි තමුන් බේරෙන එක. තමුන් බේරෙන්නත් දැන ගන්න ඕන නේ, මොක ද අපිට කරන්න තියෙන දේවල් හරි අඩු යි. හැබැයි අපි බේරෙන අතරතුර අපට යමක් කරන්න පුළුවන්."

ස්වාභාවික විපතකදී තවත් පුද්ගලයෙකු බේරා ගැනීමට ඇති අවස්ථාව ඉතා අඩු බවත්, ආපදාවට පසුව ඒ සඳහා පසු සැලසුමක් තිබිය යුතු බවත් ඔහු කියා සිටියේ ය.

"පෙර සැලසුම්, පසු සැලසුම් කියලා කොටස් දෙකක් තියෙනවා නේ. විපතක් වෙන්න ඉස්සෙල්ලා අපිට සැලසුමක් කර ගන්න පුළුවන් එතකොට අපිට බේරෙන්න තියෙන ප්‍රවණතාව වැඩි යි. වුණාට පස්සේ අපිට හදාගන්න වෙන්නේ පසු සැලසුමක්. කොහොම ද මේ මිනිස්සු බේර ගන්නේ, අපිට මොනව ද කරන්න පුළුවන් කියන එක. ස්වාභාවික විපතකදී ඕන ම කෙනෙකුට තව කෙනෙක් බේර ගන්න තියෙන අවස්ථාව සමාන්‍යයෙන් 2%ක් හෝ 3%ක් විතර තමයි, මොක ද තමුන්ටත් විපතක් වෙනවා නේ ඒකෙන්."

"හැම වෙලාවෙ ම අපි අනුගමනය කරන ක්‍රමයක් තමයි පළමුවෙන් ම ආරක්ෂා විය යුතු පුද්ගලයා තමුන්. තමුන් ආරක්ෂා වෙන්නේ නැතුව තව කෙනෙක් බේර ගන්න යන්න එපා, එතකොට වෙන්නේ තමුන්ට තව කෙනෙක් හොඳට බේරගන්න පුළුවන් අවස්ථාවත් තමුන් ම අහිමි කර ගන්න එක යි," ජීවිත ආරක්ෂණ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ ය.

'අපේ කට්ටිය දන්නේ නැහැ ආපදාවට ලක්වුණ පුද්ගලයෙක් රෝහලකට ගෙන යා යුතු විදිහ'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ස්වාභාවික විපතකට මුහුණ පෑ පුද්ගලයෙකු බේරා ගැනීමට ඉතා අඩු අවස්ථාවක් පැවතිය ද මුදා ගත් පුද්ගලයෙකුහට ප්‍රථමාධාර දිය යුතු ආකාරය සහ රෝහල්ගත කිරීමේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සමාන්‍ය පුරවැසියකුට අවබෝධයක් තිබිය යුතු බව ඔහු අවධාරණය කරයි.

අනතුරට මුහුණ දුන් පුද්ගලයා අනතුරුදායක ස්ථානයෙන් ඉවත් කර ආරක්ෂිත කලාපයකට රැගෙන යා යුතු බවත්, ඉන්පසුව කළ යුත්තේ නිසි ප්‍රතිකාර ක්‍රම සහිත රෝහලක් වෙත රැගෙන යාම බවත් ජීවිත ආරක්ෂණ සංගමයේ ප්‍රධාන ලේකම් පී.කේ. එදිරිසිංහ පැවසීය.

අනතුරුදායක ස්ථානයෙන් මුදා ගන්නා ලද පුද්ගලයෙකු ආරක්ෂිත කලාපයකට ගෙන ගිය පසුව ආරක්ෂිත ලෙස රෝහල්ගත කළ යුතු ආකාරය ඔහු විස්තර කළේ ය.

"අපේ කට්ටිය දන්නේ නැහැ රෝහලකට ඒ වගේ පුද්ගලයෙක් ගෙනියන විදිය. ගොඩක් වෙලාවට ආපදාවට ලක්වුණ පුද්ගලයින් රෝහලකට ගෙනියන්නේ මූණ උඩට තියාගෙන. නමුත් පැත්තට හරවලා ගෙනියන්න පුළුවන් නම් ඒක තමයි හොඳ ම විදිහ. ඔතනදි වමනය තමයි බලපාන්නේ. අර පුද්ගලයා බයත් එක්ක වතුර ගිලිලා හෝ මඩ හිරවෙලා හෝ කට ඇතුළේ දෙයක් තියෙනවා නම් මූණ උඩට හරවලා රෝහලකට ගෙනිච්චොත් වෙන්නේ එයාගේ මරණයට අපි පාර කපනවා. එතකොට අපි කරන්න ඕනේ මූණ පැත්තට හරවලා ගෙනියන එක."

රෝගියා පැත්තට හරවාගෙන යාම මගින් මුඛය තුළ සිරවී ඇති යමක් හෝ වමනය පිට වීමට පහසු බවත් මූණ උඩට සිටින ලෙස ගෙන යාමෙන් එම ද්‍රව්‍ය පෙනහලු තුළට යාමේ අවදානමක් පවතින බවත් ජීවිත ආරක්ෂණ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දුන්නේ ය.

ප්‍රථමාධාර

රෝහලට ගෙන යා යුත්තේ කෙසේ ද?

ඔහු පවසන්නේ හුස්ම වැටීම සම්බන්ධ රෝගියාගේ ප්‍රතිචාර පරීක්ෂා කර බලා යන්තමින් හෝ හුස්ම ගැනීමට හැකි නම් ඒ සඳහා සහය දිය යුතු බව ය.

"ඒ වගේ අවස්ථාවක කරන්න තියෙන්නේ පුළුවන් තරම් ඉක්මනට පපු තෙරපුම් වාරදිදී රෝහලට ගෙනියන්න ඕනේ. හැබැයි හුස්ම දෙන්න පුළුවන් අවස්ථාවක් තිබුණොත්, ඒ කියන්නේ කෘත්‍රිම හුස්ම, ප්‍රශ්වාස වාතය කටට හෝ නහයට දෙන්න පුළුවන්."

එහිදී, පපු තෙරපුම් වාර 100ත් 120ත් අතර ප්‍රමාණයක් ලබා දෙමින් අවශ්‍ය නම් මුඛයට හෝ නාසයට කෘත්‍රිම ස්වසනය ලබා දෙමින් රෝහලට රැගෙන යාම තුළින් ජීවිතය රැක ගැනීමේ අවස්ථාව ඇති බව ඔහු පැවසීය.

"කටට හෝ නහයට ප්‍රශ්වාස වාතය පිඹිනකොට හිස පිටිපස්සට කරන්න ඕනේ, එහෙම නැතිනම් නිකට උස්සන්න ඕනේ. එහෙම නැතිනම් ස්වසන මාර්ග සම්පූර්ණ‍ෙයන් ම විවෘත කරලා තමයි පිඹින්න ඕනෙ. හැබැයි වතුරේ අනතුරකදී ස්වසන මාර්ගය විවෘත කිරීමේදී අපි කියන්නේ බොහෝදුරට කට ඇතුළට ඇඟිල්ල දාලා හරි බලන්න මඩ, සෙම මොනවා හරි හිරවෙලා ද කියලා. ඒ හිරවෙලා තියෙද්දි අපි කෘත්‍රිම හුස්ම දෙන්න නරක යි."

කෘත්‍රිම ස්වසනය දිය යුත්තේ කෙසේ ද?

මුඛය තුළ යමක් සිරවී ඇත්නම් එය ඉවත් කිරීමෙන් පසුව කෘත්‍රිම ස්වසනය ලබා දිය යුතු අතර, එහිදී හුස්ම වාර දෙකකුත්, හෘද ස්පන්ද වාර තිහකුත් රෝහලට යන තෙක් ම හෝ රෝගියා යළි යථා තත්ත්වයට පත් වන තෙක් ම ලබා දිය යුතු වේ.

මෙම ක්‍රමවේදය හරහා ආපදාවට පත්වන රෝගී ජීවිත රැසක් බේරා ගත හැකි බව ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂණ සංගමයේ ප්‍රධාන ලේකම් පී.කේ. එදිරිසිංහ බීබීසි සිංහල සේවයට පැවසීය.

"කෘත්‍රිම ස්වසන දෙන්න දන්නේ නැතිනම් හදවත් තෙරපුම විතරක් කර කර යන්න පුළුවන්. සමාන්‍යයෙන් විනාඩියකට වාර 100ත්, 120ත් අතර ප්‍රමාණයක් තෙරපුම් කරන්න පුළුවන් නම්, පපුවේ උසෙන් තුනෙන් එකක් තද වෙන විදියට. ඒකත් ශරීරයේ ප්‍රමාණය අනුව, චූටි ළමයෙකුට දෙන ප්‍රමාණය වැඩිහිටියෙකුට හරියන්නේ නෑ. වැඩිහිටියෙකුගේ ශරීරය වැඩිලා තියෙනවා නම් එයාට සමාන්‍යයෙන් තෙරපුම දෙන්න ඕනේ අඟල් එක හමාරත්, දෙකක් අතර ප්‍රමාණයක් පපුව කිඳා බහින විදියට හරියට ම හෘද ස්පන්දනය දෙන්න ඕනේ."

"ශරීරය ගොඩක් වැඩුණ කෙනෙකුට අත් දෙකෙන් දෙන්න පුළුවන් පපු තෙරපුම. ශරීරය පොඩ්ඩක් වැඩුණ කෙනෙකුට නම් තනි අතින් දෙන්න පුළුවන්, අඟලක් විතර තෙරපුම වුණා නම් ඇති. ළදරුවෙක් නම් ඇඟිලි දෙකක් හරියට ම හෘදය ළඟට තියලා තෙරපුම් කරන්න ඕනේ. කොහොම කළත් පපුවේ උසෙන් තුනෙන් එකක් යටට බහින්න ඕනේ," යැයි පී.කේ. එදිරිසිංහ පැහැදිලි කළේ ය.

මුඛයේ සිරවී ඇති යමක් ඉවත් කරන්නේ කෙසේ ද?

ආපදාවට ලක්ව රෝගී වී සිටින පුද්ගලයකුගේ මුඛය තුළ යමක් සිරව ඇත්නම් එය ඉවත් කර ගන්නා ආකාරය ද බීබීසි සිංහල සේවය විමසා බැලී ය.

"ඒකත් කරන්න ඕනේ පැත්තට හරවලා. ඇඟිල්ල දාන්න ඉස්සෙල්ලා කට ඇරලා බලන්න ඕනේ මොනවා හරි හිරවෙලා තියෙනවා ද කියලා. පේන්න තියෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට ඇඟිල්ලක් දාලා අයින් කරන්න ඕනේ, හැබැයි ඇඟිල්ලක් දැම්මත් මුළු ඇඟිල්ල ම කට ඇතුළට දාන්න බෑ නොදන්න කෙනෙකුට ඒක තහනම් වැඩක්. අපිට දාන්න පුළුවන් දෙවන පුරුකට විතරයි ඇඟිල්ලක් හෝ ඇඟිලි දෙකක්. දාලා මඩ හෝ සෙම හෝ තියෙන දේවල් අයින් කරන්න පුළුවන් නම් හරි."

"මඩ වගේ තියෙන කෙනෙකුට අපිට ලේසියෙන් අයින් කරන්න බැහැ මොක ද ඒවා බොහෝදුරට උගුරේ හිරවෙලා තියෙන නිසා. එතකොට අපිට පුළුවන් නම් නාසයට පිඹින ඒක වැදගත්, නාසය හිරවෙලා නම් මොනවත් කරන්න බැහැ. එහෙම වුණොත් කරන්න තියෙන එක ම දේ තමයි, නොදන්න කට්ටිය දැනුවත් වෙනවා නම් හොඳ ම දේ කෘත්‍රිම හුස්මවලට යන්න ඕනේ නෑ, කෙලින් ම හෘද ස්පන්ධනය විනාඩියට වාර 100ක් 120ක් අතර ප්‍රමාණයක් තෙරපුම් කර කර යන්න, රෝගියාගේ රියැක්ෂන් එකක් එනවා නම් වමනය දාන්න වගේ ක්ෂණිකව රෝගියා පැත්තට හරවන්න," ඔහු උපදෙස් දුන්නේ ය.

ලයිෆ් ජැකට් එකක් වෙනුවට භාවිත කළ හැක්කේ මොනව�� ද?

පිහිනීමට පුහුණුවක් තිබුණ ද ජීවිත ආරක්ෂණ ක්‍රම නොදත් අයෙකු මුදා ගැනීම වෙනුවෙන් ජලයට බැසීම නුසුදුසු බවත්, ගංවතුරක් හෝ ජලගැලීමකදී ජීවිත ආරක්ෂක කබායක් නොමැති අවස්ථාවක ජලයට බැසිය යුතු ආකාරය ද ඔහු පැහැදිලි කළේ ය.

"ප්ලාස්ටික් මෙගා බෝතල් තුනක් විතර එකතු කරලා ඇඟේ බැඳ ගත්තා නම් හොඳට පා වෙනවා, ලයිෆ් ජැකට් එකක් වගේ ම තමයි. ලයිෆ් ජැකට් එකක් කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි රිජිෆෝර්ම් කෑලි 4ක් විතර අරගෙන පරණ බ්ලවුස් එකකට නැතිනම් ෂර්ට් එකකට තියලා මහ ගත්තා නම්, ඕක ඇඳ ගත්තා නම් ඕක හොඳ කබායක්. එක මෙගා බෝතලයකින් පුළුවන් මනුස්සයෙකුට සෑහෙන වෙලාවක් පාවි පාවි ඉන්න."

ජලයේදී සිදුවන අනතුරකදී හිස සහ බෙල්ල ජලයෙන් මතුපිට ඇත්නම් අනතුරින් වන හානිය අවම කර ගත හැකි බවත්, ප්ලාස්ටික් මෙගා බෝතල් තුනක් පමණ පපුවේ බැඳ ගැනීම ජලයේ නොගිලී සිටීමට ප්‍රමාණවත් බව ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂණ සංගමයේ ප්‍රධාන ලේකම් පී.කේ. එදිරිසිංහ බීබීසි සිංහල සේවයට තවදුරටත් කියා සිටියේ ය.