ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මියගියේ කොහොම ද? මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සහයක නියමුවා දුන් සාක්ෂි

ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Air Force

ඡායාරූප ශීර්ෂ වැකිය, ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය
    • Author, බීබීසී සිංහල

අහයපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට සහන සලසමින් සිටියදී ශ්‍රී ලංකා ගුවන් හ���ුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් හදිසි ගොඩබෑමකදී එහි ප්‍රධාන ගුවන් නියමුවා වූ ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම අද (දෙසැ: 09) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු කෙරිණි.

එහිදී, සහයක ගුවන් නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එරංග චාමර ඒකනායක සාක්ෂි ලබා දෙමින් විවෘත අධිකරණයේදී පළ කළ අදහස් මෙසේ ය.

"හෙලිකොප්ටර් යානයේ කාර්මික දෝෂයක් පවතින බව යානය පදවමින් සිටි ප්‍රධාන ගුවන් නියමු කෲප් කපිතාන් නිර්මාල් සියඹලාපිටියට සහ මට වැටහී ගියා"

"ගිං ඔය පාලම මත සහ මාර්ගයේ විශාල පිරිසක් යානයට අත වනමින් ආධාර ඉල්ලමින් සිටි නිසා යානය පාලම මතට හෝ මාර්ගය මතට ගොඩ බැස්සවීමට හැකියාවක් තිබුණේ නැහැ"

"සුදුසු ස්ථානයකට යානය ගොඩ බැස්සවීමට උත්සහ කරමින් හරවනවාත් සමග ම හෙලිකොප්ටර් යානය එක් වර ම ගිං ඔයට කඩා වැටුණා."

"මමත් ගුවන් හුමදා සාමාජිකයින් තිදෙනාත් මහත් පරිශ්‍රමයක් දරා යානයෙන් පිටතට ඇවිත් ගිං ඔයේ ගිළුණ යානය තුළ සිහිසුන්ව සිරවී සිටි ප්‍රධාන ගුවන් නියමු නිර්මාල් සියඹලාපිටියගේ බඳ පටි ඉවත් කර එළියට ගෙන බෝට්ටුවක් ආධාරයෙන් ගොඩට ගෙන ගිලන් රථයකින් මාරවිල මූලික රෝහලට යැව්වා"

"ප්‍රධාන ගුවන් නියමු නිර්මාල් මියගොස් ඇති බව පසුව දැන ගත්තා"

සහයක ගුවන් නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එරංග චාමර ඒකනායක එසේ පැවසුවේ, මාරවිල මහේස්ත්‍රාත් දිනිඳු සමරසිංහ ඉදිරියේ සාක්ෂි ලබා දෙමිනි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක තිලිණ හෙට්ටිආරච්චිගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක බී.ඩී. සිරිවර්ධනගේ සාක්ෂි මෙහෙයවීම මත තවදුරටත් සාක්ෂි දෙමින් සහයක ගුවන් නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එරංග චාමර ඒකනායක මෙසේ ද පැවසීය.

"ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලද නියෝගයකට අනුව විපතට පත්වූවන්ට වියළි ආහාර ලබා දීම සඳහා පසුගිය 30 වන දින සවස 5ට විතර අපි කටුනායාක ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 212 හෙලිකොප්ටර් යානයකින් ගුවන්ගත වුණා. එම හෙලිකොප්ටර් යානය පැදවූයේ ගෲප් කපිතාන් නිර්මාල් සියඔලාපිටිය. එහි සහයක ගුවන් නියමුවා ලෙස කටයුතු කළේ මම. කටුනායක ගුවන් හමුදා කඳවුරින් ගුවන්ගත වූ හෙලිකොප්ටර් යානය වෙන්නප්පුවට ඉහළ අහසේ පියාසර කරමින් යානය තරමක් පහත් කරනාවත් සමග ම ගිං ඔය පාලම මත සහ ඒ අවට සිටි පිරිස් දෑත් වනමින් ආධාර ඉල්ලා සිටියා.

පාලම මතට හෝ මාර්ගය මතට යානය ගොඩ බැස්සවීමට හැකියාවක් තිබුණේ නැහැ. ඊට හේතුව පාලම මත විශාල පිරිසක් සිටි නිසාත් ඒ අසලින් අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් ඇද තිබූ නිසාත්. කෙසේ වෙතත් එම අවස්ථාවේ එක් වියළි ආහාර පැකට් සහිත පාර්සලයක් අත වනමින් සිටි ජනතාවට අපි මුදා හැරියා. සුදුසු ස්ථානයක යානය ගොඩ බැස්සවීමට උත්සහ කළ අවසථාවේ යානයේ කාර්මික දෝෂයක් පවතින බවට ප්‍රධාන ගුවන් නියමු ගෲප් කපිතාන් නිර්මාල් සියඹලාපිටියට සහ මට හැඟී ගියා. පසුව යානය නිරුපද්‍රිතව සුදුසු ස්ථානයකට ගොඩ බැස්සවීමට උත්සහ කරමින් ප්‍රධාන ගුවන් නියමු ගෲප් කපිතාන් නිර්මාල් සියඔලාපිටිය යානය හරවනාවාත් සමග යානය එක්වර ම ගිං ඔයට කඩා වැටුණා.

එම අවස්ථාවේ මහත් පරිශ්‍රමයක් දරා මා සහ යානයේ සිටි අනෙක් ගුවන් හමුදා සාමාජිකයින් තිදෙනා යානයෙන් එළියට ඇවිත් හෙලිකොප්ටර් යානය ඇතුළේ සිරවී සිහිසුන්ව සිටි ප්‍රධාන ගුවන් නියමු ගෲප් කපිතාන් නිර්මාල් සියඔලාපිටියගේ බඳ පටි ඉවත් කර ඔහු නොපමාව යානයෙන් පිටතට ගෙන පොලිසිය සහ ජනතාව සමග එක්ව බෝට්ටුවක ආධාරයෙන් ගොඩ බිමට රැගෙන විත් ගිලන් රථයකින් මාරවිල මූලික රෝහලට පිටත් කර යැව්වා. පසුව දැන ගන්න ලැබුණා ප්‍රධාන ගුවන් නියමු ගෲප් කපිතාන් නිර්මාල් සියඔලාපිටිය මිය ගොස් ඇති බව."

ගුවන් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් පොලිසිය විසින් ද සිදු කරනු ලබ යි.