ශ්‍රී ලංකාවට මානුෂිය ආධාර රැගෙන එන පකිස්ථාන ගුවන් යානයට ඉන්දීය ගුවනේ අවසර හිමි වුණා ද?

Pakistan Air Force plane.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

'දිට්වා' සුළි කුණාටුවෙන් විපතට පත්වූ ශ්‍රී ලංකාවට ආධාර සැපයීම සඳහා අසල්වැසි රාජ්‍යයන් දෙක වූ ඉන්දියාව සහ පකිස්ථානය ඉදිරිපත් විය.

ඉකුත් සමයේදී ඇති වූ භූ දේශපාලන සිදුවීම් සහ හමුදා ගැටුම් හේතුවෙන් ඉන්දියාව සහ පකිස්ථානය මේ වන විට පසුවන්නේ රාජතාන්ත්‍රික වශයෙන් එකිනෙකා කෙරෙහි වූ මතභේදාත්මක තත්ත්වයක ය.

ඉකුත් අප්‍රේල් මාසයේදී ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ පෙහෙල්ගාම්හි පුද්ගලයින් 26 දෙනෙකුට මරු කැඳවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රටවල් දෙක අතර දින හතරක් පුරා පැවති යුද ගැටුම මෙලෙස රටවල් දෙක අතර ආතතීන් උත්සන්න වීමට ප්‍රධාන සාධකයක් විය. මෙම ගැටුම් තත්ත්වයත් සමග ඉන්දියාව සහ පකිස්ථානය දෙරටේ ගුවන් සේවා සඳහා තම ගුවන් කලාප වසා දමන ලදී.

ඉන්දියාවෙන් පකිස්ථානයට ලබා දුන් අවසරය

ඉකුත් නොවැම්බර් මස 29 වන දා සිට ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව සමග මෙරටට එල්ල වූ බලපෑම හේතුවෙන් මානුෂීය ආධාර අවශ්‍ය බවට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ පළමු රටවල් දෙක වන්නේ, අසල්වැසි ඉන්දියාව සහ පකිස්ථානය යි.

පසමිතුරන් වුව ද ශ්‍රී ලංකාවට අවශ්‍ය මානුෂිය ආධාර සැපයීම සඳහා පකිස්ථාන ගුවන් යානා වෙනුවෙන් ඉන්දියාව සිය ගුවන් කලාපය භාවිත කිරීමට අවසර දුන් බ��� එරට මාධ්‍ය විසින් වාර්තා කර තිබිණ.

ඉන්දියාවේ ප්‍රමුඛ මාධ්‍ය සේවා වන NDTV, ද නිව් ඉන්ඩියා එක්ස්ප්‍රස් මෙන් ම පකිස්ථානයේ Dawn වෙබ් අඩවිය ද වාර්තා කර තිබුණේ, සුළි කුණාටුවෙන් විපතට පත්වූ ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර රැගෙන යන පකිස්ථාන ගුවන් යානයකට තම ගුවන් සීමාව භාවිත කිරීමට ඉන්දියාව අවසර දී ඇති බව ය.

"ශ්‍රී ලංකාවට මානුෂිය ආධාර රැගෙන යාම සඳහා දෙසැම්බර් මස 01 වන දා දින ඉන්දීය වේලාවෙන් පැය 1300ට (දහවල් 1ට) පමණ පකිස්ථානය විසින් ඉන්දීය ගුවන් කලාපය හරහා ගමන් කිරීම සඳහා නිල ඉල්ලීමක් ඉදිරිපත් කරන ලද අතර, එම ඉල්ලීම සිදු කර පැය හතරකට පසු, නිල ක්‍රමවේදයන් හරහා පකිස්ථාන රජයට ඉන්දියාව සිය අවසරය ලබා දුන් බව 'ද නිව් ඉන්ඩියා එක්ස්ප්‍රස්' වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

'අපේ ගුවන් යානය පැය 60ක් තිස්සේ බලන් ඉන්නවා'

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

මේ අතර, පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශය සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දියාවට චෝදනා කර ඇත්තේ, ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර සැපයීම සඳහා පකිස්ථානය සූදානම් කර ඇති ගුවන් යානය ඉන්දියාවේ අවසරය ලැබෙන තෙක් පැය 60කට ආසන්න කාලයක් ප්‍රමාදව සිටින බව ය.

"පකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත මානුෂීය ආධාර ඉන්දියාව අඛණ්ඩව අවහිර කරමින් සිටියි. පකිස්ථානයේ මානුෂීය ආධාර රැගෙන යන විශේෂ ගුවන් යානය ඉන්දියාවේ ගුවන් ගමන් අවසරය බලාපොරොත්තුවෙන් පැය 60කට වැඩි කාලයක් ප්‍රමාදයකට මුහුණ දී සිටියි," යනුවෙන් එම X සටහනේ දැක්වෙයි.

"පැය 48කට පසුව ඊයේ (දෙසැම්බර් 01) රාත්‍රියේදී ඉන්දියාව විසින් නිකුත් කරන ලද අර්ධ ගුවන් ගමන් අවසරය ක්‍රියාකාරීව ප්‍රායෝගික නැත. පැය කිහිපයක් සඳහා පමණක් ලබාදුන් කාල රාමුව තුළ එම ගුවන් යානයට නැවත පැමිණීම සඳහා වන අවසරය ලබා දී නැහැ. ශ්‍රී ලංකාවේ සහෝදර ජනතාව සඳහා වූ මෙම හදිසි සහන මෙහෙයුමට එය දැඩි ලෙස බාධාවක් වී තිබේ," යැයි පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශය සිය X ගිණුමේ තබා ඇති සටහනේ සඳහන් කර ඇත.

කෙසේ වුව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය, අප මෙම ලිපිය පලකරන අවස්ථාව තෙක් පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශය එල්ල කර ඇති චෝදනාව සම්බන්ධයෙන් සිය නිල ප්‍රතිචාරය දක්වා නොතිබිණ.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ මැදිහත් වීම

ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීම සඳහා පකිස්ථාන ගුවන් යානාවලට මෙරටට පැමිණීම සඳහා ඉන්දීය ගුවන් කලාපය භාවිතයට අවසර දීම සඳහා මෙරට සිවිල් ගුවන් සේවා අධිකාරිය මැදිහත් වන්නේ දැයි දැන ගැනීම සඳහා බීබීසී සිංහල සේවය එහි අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කපිතාන් දමින්ද රඹුක්වැල්ලගෙන් විමසීමක් කළේ ය.

එහිදී ඔහු කියා සිටියේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වූ අන්‍යෝන්‍ය සම්බන්ධතාව අනුව මෙම අවසරය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව ය.

"ඉන්දියාවේ ගුවන් කලාපයේ අවසරය තියෙන්නේ ඉන්දීය සිවිල් ගුවන් සේවාවට. මොක ද ඉන්දියාව පකිස්ථානයේ හැම ගුවන් යානයකට ම අවසර දෙන්නේ නැහැ එයාලගේ අතර තියෙන සමහර සිදුවීම් නිසා. මෙතැනදී ඉන්දියාවේ සිවිල් එවියේෂන් එකෙන් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය කරන ඉල්ලීමට අන්‍යෝන්‍ය සම්බන්ධකම අනුව අවසරය ලබා දීමක් සිදුකරන්නේ." සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක කපිතාන් දමින්ද රඹුක්වැල්ල පැවසුවේ ය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2

පකිස්ථානයේ චෝදනාවට ඉන්දියාවෙන් ප්‍රතිචාර

ශ්‍රී ලංකාවට මානුෂිය ආධාර රැගෙන ඒම සඳහා පකිස්ථාන ගුවන් යානාවලට අවසර ලබා නොදීම පිළිබඳව ප්‍රචාරය වන මාධ්‍ය වාර්තා සහ විමසීම් සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයය නිල නිවේදනයක් නිකුත් කර ඇත.

පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යංශය විසින් කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත්, එය ඉන්දීය විරෝධී වැරදි තොරතුරු ප්‍රචාර කිරීමේ තවත් උත්සහයක් බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

"ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර රැගෙන යන පකිස්ථාන ගුවන් යානා සඳහා ගුවන් ගමන් අවසරය ලබා ගැනීම සඳහා ඉල්ලීම 2025 දෙසැම්බර් 01 වන දින පැය 1300ට පමණ ඉස්ලාමාබාද්හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ලැබුණා.

"මානුෂීය ආධාරවල හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, ඉන්දීය රජය එම ඉල්ලීම එදින ම කඩිනමින් ක්‍රියාවට නංවා 2025 දෙසැම්බර් 01 වන දින පැය 1730ට යෝජිත ගුවන් ගමන සඳහා අවසරය ලබා දුන්නා. මෙම අභියෝගාත්මක කාලයේදී ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා ගත හැකි සියලු ක්‍රම මගින් සහය වීමට ඉන්දියාව කැපවී සිටීනවා," ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.